Sunday 23 June 2019

නොනිදන නගර



නොනිදන සරසවිය කියලා කිරුළු දරා
මොරටු නාමෙ අංක එකට කෙහෙළි දරා
රටේ උන්නු මීටර් ටික එකතු කරා
ලොව ජයගන්න උන් හැමදෙන මෙහෙය කරා

උදේ ඉදන් රෑවෙනකන් වැඩ තිබ්බා
පාඩම් පැවරුම් කරන්න රෑ තිබ්බා
ඒ අස්සේ ක්‍රීඩාත් ජයටම තිබ්බා
ඇක අස්සෙත් අපේ එවුන් නම තිබ්බා

සතිය පුරා ඇක දාන්න වෙලා නැත
ඒ අස්සේ අනික් වැඩත් එමට ඇත
නොනිදා කරන්නට වැඩ ගොඩගැසී ඇත
10 පසුවෙන්න පෙර යා යුතුව ඇත





Saturday 22 June 2019

අකුරු වලට මම මගෙ දුක පෙරලූවා



සරසවියයි ගෙදර දුරයි හිත         කීවා
ගෙදර වගේ නෑ කැන්ටිමෙ බත    කෑවා
ලෙඩ උන විටදි අම්මත් නෑ දුක     කීවා
ඒ දුක මකන්නට මම අද කවි       ලීවා


ආවර්ජන



Monday 10 June 2019

අවාරයේ පිපුණු මල් ❤️

තැනින් තැන මල් පොඩිති විසිරුණු
නිතර ආ ගිය පුරුදු පාරේ
බංකු බැමි මත දෑස පැටලුණු
සිහින මාලිග තැනූ කාලේ
අපෙ අපේමයි ලොවක් සාදපු
සරසවියෙ අපෙ මුල්ම කාලේ
කජු කැලෙත් නැත ඔයත් අද නැත
ඔයා මට දුන් සොඳුරු ආලේ


භවනෙ තනිවී තනිව හිනැහුණු
කතා කියවූ සොඳුරු කාලේ
එක කුඩේ යට එකට තියැවුණු
සිහින් පා යුග නැටුව තාලේ
ගමන වෙහෙසයි හිතට පාලුයි
තනිව ගතවුණු අපේ කාලේ
තබමි පියවර මොරටුවෙන් පිට
මතක ගුලි කර අපේ ආලේ



උපන්දින සුභ පැතුම



දෑගිලි තුඩින් කල මෙහෙයන් අපමණය
සුව වූ දිවි ගනන් කිව නොහැක කොපමණය
රෑ නිදි වරා දිවි රැක්කෙමි මෙපමණය
වෙදදුරු නොවෙමි හෙදියක වෙමි අපමණය

ලස්සන නිය රටා මැවුමට උරුම නැත
ඩියුටි ඉවර වී හවසට ගෙදර නැත
දීවා රැයක් නොබලා shift දමා ඇත
එහෙව් හිතේ වෙන දේකට ඉඩක් නැත

වැඩ වැඩි උනත් දුක වැඩි උනත් වාට්ටුවේ
පිපෙනවා පුංචි පෙම් මල් නුබෙ සාත්තුවේ
නිළ ඇදුමට බර වැඩි උනත් වාට්ටුවේ
පොඩි මිස් නුබයි මගෙ හිත් ගත් යාප්පුවේ

Lectures අහන් notes ලියන් මම ඉන්නේ
පුංචි නර්ස් ward එකේ ඔබ ඉන්නේ
මගෙ හිත ඔහෙට දුවනා හැටි ඔබ දන්නේ
ඔය පොඩි හිතේ ආදරයයි සිහි වෙන්නේ

-රුචිර වීරකෝන් -
28.03.2019


Sunday 9 June 2019

ආදරිය මග බලාගෙන ඇති ඔයා සිටි මෙන් ඉස්සර

නිමිත්ත:

අහම්බෙන් ෆේස් බුක් වෙබ් අඩවියේ දුටු කවි පෙලක් දැකීමෙන් හදිසියේ
සිතට ආ වදන් ගලපමින් විනාඩි කිහිපයකදී ලියූ පිලිතුරු කවි පෙලකි.

නිමිත්ත වූ කවිය:

දෑත් පැටලුනු ඉස්සර
මතක තියලා දුර ගිය
නුබේ ඇස් දෙක ඔච්චරට ඇයි
හීනවලදිම ලස්සන....

හුරුව ඇති තැන් දැක්කම
ඉවෙන් පය ගිය ඉක්මන
ඕන තරමක් දවස් තියනව
නුබම කියලා රැවටුන....

කවියෙ පදවල එක්වුණ
සුවඳ තවරා වෙන්වුණ
එදා උණුහුම අදත් දැනෙනව
නුබේ පපුවට ගුලි වුණ....

- සක්ෂිමා -
(කවියක් පමණි)

පිලිතුරු කවිය :

දකින විට ඔය ලස්සන 
කැරලි පැටලුනු කෙස් ටික
ඇයිද කියලා හිතෙනවා දැන්
තනිකලේ නුබ ඉස්සර..

හුරුව ඇති තැන් අතහැර 
පය තැබූ හරි ඉක්මන
ඕන තරමක් දවස් තියනවා
ඒ මතක මැද තනිවුන..

කවියෙ පද මෙන් ඉස්සර 
උරුම නෑ එක් වන්නට
ආදරිය මග බලාගෙන ඇති
ඔයා සිටි මෙන් ඉස්සර..




අපි හැමෝම සුදු මිනිස්සු අපේ කථා වල 🤭

පාට දෙකෙන් පාට කරපු ලෑල්ල කළු         සුදු
දාම් උනත් චෙස් ඇද්දත් පිල් දෙක කළු     සුදු
අපේ පිලෙත් අපේ ලොවෙත් හිතුවත් අපි    සුදු
වෙනත් කථාවක ඔබ කලු විය හැක නොව සුදු


Friday 7 June 2019

ඉර මැදියම

කපාගෙන වා සිහිලස
නුබට වැදී ඉර මැදියම
දැවූයෙද නුඹෙ සියොළඟ
සපතේරු පිය සෙනෙහස

මිරිවැඩි අරන් දෑතට
කිළුටු තැවරුණු අත්ලෙම
මසා නිම කල සඳ
හම්බකර ගත් සොච්චම

දරු පැටව් බලාගෙන ඇත
තමාටත් කුසගිනි එත
ගිනි අව්ව අහිංසක නැත
නමුත් ඉවසිය යුතුවැත


Sunday 2 June 2019

~සිව් අවුරුද්ද ~



වල ගැසුණු මිරිවැඩියෙ ඩයි දැමූ නිල් ඩෙනිමෙ
තැනින් තැන ඉරුණු තැන් තියෙනවා..
තිහට ගත් බත් තලිය තව පහක් වැඩි වුණිය
මාසෙ වැය පිරිමහන්න තියෙනවා..
මහපොළත් පරක්කුය දින දෙකක් එහෙමමය
Assignments අපි දිහා රවනවා..
අහර නිසි රස නැතිය වියදමක් කර බැරිය
දෙදාහක් අම්මටත් යවනවා..

මල් වැටුණු සරසවියෙ ඉරි ඇඳපු මහ පාරෙ
හෙමි හෙමින් අපේ අඩි තියනවා..
එකට පොත්පත් බලන එකම ඩිග්‍රිය කරන
අපෙ උන්ම කාරයෙන් දුවනවා..
දේශනය නිම වීලා Pizza Hut, Burger King
මචං උඹ එන්නැද්ද අහනවා..
තිබුණ නම් ඒ සල්ලි ඇද්දහැකි මාසයක්
හිත යටින් මටම මම කියනවා..