අවාරයේ පිපි රොබරෝසියා මලක් අත්තේ සිර වෙලා
පාලමේ යට තනි වු ලෝකයෙ පිටට පිට දී ළංවෙලා
බොල්ගොඩට ඉහළින් වැටුණු කජුකැලේ පාරෙදි තනි වෙලා
ගෙවූ මතකය අපහැදිලි වී හදේ කොතනක ගුලි වෙලා
ඇහෙනවාදෝ මා කියනා කවි වේදනා ඊතල වලින්
පෙම අහිමි වී ඉඳුල් වුණු පව්කාරියකගේ ළය මැදින්
අතින් අත යන මිලට විකිණෙන ගැහැණු දෙස බලනා ඇහින්
කෙලින් බලනවා සමහරුන් අද රතිය දිලෙනා ඇස් වලින්
අසම්මතේ හැසිරුනා නම් මට කමක් නෑ මා මරාපන්
හිතේ විළිඹර වී තිබුණු පෙම වියරු වූ හැටි බලාපන්
ඔබේ ළඟ මම ලිහූ සළු හැමතැනම ලිහුවද හොයාපන්
පෙමක් නොකියා පෙමින් ඇලවුනු බැමි වලින් මා ලිහාපන්
ගහට ගහ එක්වෙනා පුරයෙදී බහ නොදී අප හමු වෙලා
කියාගන්නට බැරිවු ස්නේහය හිතේ පතුලේ හිර වෙලා
ඔබත් එක්කම ඔබේ මතකය බොල්ගොඩේ පතුලේ වෙලා
තනිව පියමං කරමි ඉවතට සිව් වසර අවසන් වෙලා