Showing posts with label ගීයකට ලියූ පද වැල්. Show all posts
Showing posts with label ගීයකට ලියූ පද වැල්. Show all posts

Monday, 14 September 2020

වීදී සරන්නෙකු නොවෙමි

අවාරයේ පිපි රොබරෝසියා මලක් අත්තේ සිර වෙලා
පාලමේ යට තනි වු ලෝකයෙ පිටට පිට දී ළංවෙලා
බොල්ගොඩට ඉහළින් වැටුණු කජුකැලේ පාරෙදි තනි වෙලා
ගෙවූ මතකය අපහැදිලි වී හදේ කොතනක ගුලි වෙලා


ඇහෙනවාදෝ මා කියනා  කවි වේදනා ඊතල වලින්
පෙම අහිමි වී ඉඳුල් වුණු පව්කාරියකගේ ළය මැදින්
අතින් අත යන මිලට විකිණෙන ගැහැණු දෙස බලනා ඇහින්
කෙලින් බලනවා සමහරුන් අද රතිය දිලෙනා ඇස් වලින්


අසම්මතේ හැසිරුනා නම් මට කමක් නෑ මා මරාපන්
හිතේ විළිඹර වී තිබුණු පෙම වියරු වූ හැටි බලාපන්
ඔබේ ළඟ මම ලිහූ සළු හැමතැනම ලිහුවද හොයාපන්
පෙමක් නොකියා පෙමින් ඇලවුනු බැමි වලින් මා ලිහාපන්


ගහට ගහ එක්වෙනා පුරයෙදී බහ නොදී අප හමු වෙලා
කියාගන්නට බැරිවු ස්නේහය හිතේ පතුලේ හිර වෙලා
ඔබත් එක්කම ඔබේ මතකය බොල්ගොඩේ පතුලේ වෙලා
තනිව පියමං කරමි ඉවතට සිව් වසර අවසන් වෙලා




අවශේෂ

ගමේ පල්ලියේ
ගීතිකා ඇසුනා
කුරුසෙටත් ඉහළින් 
තරුවක් දිලුණා
අඩක් පෑයූ සඳක්  අහසේ        
කලු වලාවක් එක්ක වැහුණා...//

ගීතිකා හඬ...
දසන් රැඳුණා
අල්තාරේ මත...
පහන් දැවුණා
පුංචි උන්ගේ...
නෙත් පියන් පත්,
යොමාගෙන දිලි දිලී තිබුණා

වඳින පුදන අදහන තැන
දනින් වැටී නමදින තැන 
මට කියාපන්...
උඹලා... කොහොමද ,මා හැර දා ගියේ...

මරණය ස්වර්ගය කැටි කොට
ආගම ජාතිය ගැති කොට 
මට කියාපන්...
මිනිසුන් කොහොමද නොමිනිසුන් වුණේ...

ගමේ පල්ලියේ
ගීතිකා ඇසුනා
කුරුසෙටත් ඉහළින් 
තරුවක් දිලුණා
අඩක් පෑයූ සඳක්  අහසේ
කලු වලාවක් එක්ක වැහුණා...//

මාසෙකුත් සති...
තුනක් ගෙවුණා
පාස්කුව කලු...
වීලා තිබුණා
සිහිල් වා රැළි..
ඇඟේ එතුණා
මතක උන්ගේ සුවඳ දැනෙමින් 
දැවටි දැවටී වැටිලා තිබුණා

ගමේ පල්ලියේ
ගීතිකා ඇසුනා
කුරුසෙටත් ඉහළින් 
තරුවක් දිලුණා
අඩක් පෑයූ සඳක් අහසේ
කලු වලාවක් එක්ක වැහුණා...//