Thursday, 29 March 2018

බලාපොරොත්තු | HOPES ( දෙවන කොටස )


වෑ කන්ද දිගේ පාරෙන් දසුන් ඉතා උද්යෝගයෙන් පා පැදිය පැදගෙන ගියා.වෙල් යාය පිසගෙන විත් ඇගේ වදින සුලං රැලි ඔහුට දැනෙන්නේ හරියට ඒවාත් ඔහුට සුබ පතනවා වගේ.


දසුන්ගේ සිත අතීතයට දිව ගියා.


දවසක් අම්මාත් අප්පච්චිත් ඇතුලු තුන් දෙනාම මේ වෑකන්ද දිගේ මේ බයිසිකලයෙන් ගිය හැටි දසුන්ට මතක් වුනා.


"පුතේ බයිසිකලේ හුලං මදි හුලං ටිකක් ගහ ගන්න ඕන"

යැයි අප්පච්චි කී විට


"ඇයි අප්පච්චි මේ හුලං ඇති තරම් වදින්නෙ"


කියල දසුන් කී හැටිත් එයට හැමෝම සිනා වූ හැටිත් පසුවත් එය මතක් කර කට්ටිය දසුන්ට උසුලු විසුලු කල හැටිත් සිහි වී දසුන්ට තනිවම සිනහ ගියත් ක්ෂණයකින් එය අතුරැදහන් වූයෙ අද අප්පච්චි හිටියා නම් කියා ඔහුට මතක් වෙද්දී.


අතේ මිටේ මුදල් නැති උනාම ගෙදර තියෙන ඔක්කොම උකස් කරද්දි පුංචි එතනා තම සැමියාගේ බයිසිකලය තියා ගත්තේ

"උබලෑ අප්පොච්චා සෑහෙන්න ආසයි මේ බයිසිකල් කබලට. මට මේක විකුනන්න හිත දෙන්නේ නෑ"

කියාගෙනයි.


ඒ දවස් වල තිබ්බ සතුට සිනහව කොහේ ගිහින්ද දන් නෑ. ඔහු අහස දිහා බලද්දි අප්පච්චි සිනා වෙවී සතුටින් තමන් දිහා බලනවා වගේ දසුන්ට පෙනුනා.

නොදැනීම ඇස් වල පිරැණ කදුලු වලින් ඒ රැව බොද වන අයුරැ ඔහුට පෙනුනා.


............................*********...............................



කැම්පස් එක පටන් ගන්න දවසත් ආවා. අලුත් තැනක්, අලුත් යාලුවෝ, අමුතු බිල්ඩින් .

දසුන්ට තිබ්බෙ මේ හැමදෙයක් ගැනම කුතුලයක්.


"මගේ පුතේ මේවා මහ විසාල ගොඩනැගිලි නේ. මම මේ විස්ස විද්‍යාලෙකට ආවමයි"

පුංචි එතනා කීවා.


කවදාවත් මේ වගේ තැනක් දැක නැති පුංචි එතනාට තිබුනේ සියුම් ආඩම්බරයක්. ඇත්තටම තම සැමියාත් නැතිව ඈ වින්ද දුක් ගැහැටේ ප්‍රතිඵල අද ඇස් පනා පිටම ඇත.


අලුත් ලමයි ඔක්කොම වගේ පිලිවලට කොන්ඩ රැවුල් කපලා කමිසය කලිසමට යට කරන් ඇවිත් හිටියා. ගැහැනු ලමයි සාය හැට්ට වලින් සැරසී සිටි අතර අලුත් පන්නයට ඇද සිටි කිහිප දෙනෙක්ම නොසිටියා නෙමේ. තමන් අතැති ලියුමත් රැගෙන ලමුන් එක පේලියකත් දෙමව්පියෝ තව පේලියකත් සිටගෙන සිටියා.


දසුන් පේලියේ ඉන්න ගමන්ම වට පිට බැලුවා. ලස්සන ගස් වැල්, ගොඩනැගිලි මේ ඔක්කොම නිකන් කැම්පස් එකටම කියල හදවල වගේ. ඒ ඔක්කොටම තිබ්බෙ පුදුම තේජසක්. ඉස්සරහ ලස්සන ලොකු තොරණක් ගහල, නවකයො පිලි ගන්න. 

කැම්පස් එක හරි අමුතු තැනක්. නිළ ඇදුමක් නෑ, සමහරැ කොන්ඩ රැවුල් වවාගෙන, සමහරැ එක එක විච්චූරන ඇදුම් ඇදගෙන එක එක විදියට. හැමදේටම මාර නිදහසක් තියෙන්නෙ. වටේ පිටේ දැක්ක දේවල් නිසා දසුන්ට හිතුනා. ඒ අමුතු ලෝකේ ඇවිදල බලන්න දසුන් හිටියෙ නොඉවසිල්ලෙන්. දසුන් එක්ක පෝලිමේ හිටිය අනික් අයටත් ඒ දේම දැනෙන්න ඇති, දසුන් කල්පනා කලා.


"මල්ලිලා නංගිලා අපේ පස්සෙන් එන්න"

ලස්සනට ඇද ගත්ත අක්කලා දෙන්නෙක් ඇවිත් කීවා.


ලමයි එක ශාලාවකත් දෙමව්පියෝ තව ශාලාවකත් වාඩි කරා.


" අද මේ ලමයි දෙමව්පියෝ ඔයාල හැමෝම බොහොම වාසනාවන්තයි. ඔබ ඇවිත් තියෙන්නෙ දිවයිනේ බොහොම ගව්රවාන්විත විශ්ව විද්‍යාලයකට. හෙට ඔබේ දරැවා රටට වැඩදායී වෛද්‍යවරයෙක් ලෙස මෙම විශ්ව විද්‍යාල භූමියෙන් පිටවේවි. දෙමව්පියනි ඔබ රටට දායාද කර ඇත්තේ උතුම් පුතෙක්, උතුම් දුවෙක්"

උපකුලපතිතුමා එදා කී දේ දසුන්ට තවමත් මතකයි.

දවස අවසානයේ පිලිගැනීමේ උත්සවය නිමා උනා. ඉරත් අවරට ගිහින් මුලු පරිසරයම දුක්ඛ්ත පාටයි. හොස්ටල් හම්බුන නිසා නවතින්න තැනක් හොයන්න කරදර වෙන්න ඕන උන් නෑ.


" මයේ පුතේ උඹ පරිස්සමින් හිටපං. උඹ නැතුව මම තට්ට තනියම අපේ පැල් කොටේ කොහොම ඉන්නද කියල කල්පනා කරේ. උඹේ දැගලිල්ල හිනාව නැතුව මුලු ගේම පාලුවට යාවි. කමක් නෑ මයෙ පුතේ උඹ ඉක්මනට දොස්තර මහත්තයෙක් වෙලා මාව උඹේ ලගට ගනින්. මම එතකං බලන් ඉන්නව. තනිකම මට හුරැ වෙලා යාවි"


පුංචි එතනා කීවා.

ඒ වචන ඇහෙද්දි ඔක්කොම දමල ගහල ආයෙ යන්න තරම් දසුන්ට හිතුන.


" මට තනියක් නෑ මයෙ කොල්ලො මම විහිලුවට කීවෙ. මගේ හීනෙ උඹ ලොකු මහත්තයෙක් වෙනවා දකින එක."

ඇස් දෙකෙන් රෑරා හැලෙන කදුලු සාරි පොටෙන් පිස දමමින් ඈ නැවතත් කීවා.


"අම්මේ මම පුලුවන් හැමවෙලේම ගෙදර එනවා මගෙ අම්මව බලලා යන්න.එතකං මගෙ අම්මා පරිස්සමින් ඉන්න ඕන."


ඇස් වලින් එලියට පනින්න ඔන්න මෙන්න තියන කදුලු සිරකරන් දසුන් කීවා.


" කොල්ලො උඹට මහපොල හම්බෙනකන් අතේ සල්ලිත් නෑනෙ. මේක වියදමට තියා ගනින්"


ඈ තම සන්තකේටම තිබූ මුදලින් බස් එකට පමනක් සල්ලි ඉතුරැ කරන් රැපියල් සීයේ නෝට්ටු දෙකකුත් විස්සෙ නෝට්ටු හතරකුත් පහේ කාසි තුනකුත් ගුලි කර දසුන් අත තැබුවා.


'"පව් දෙයයනේ මගෙ අම්මා අමාරැවෙන් ඉතුරැ කරපු සල්ලි"

කියා දසුන්ගේ හිත කීවත් අන් කිරීමට යමක් නැති නිසා ඔහු එම මුදල සාක්කුවේ රැවා ගත්තා.


මම කවද හරි සල්ලි හොයල අම්මව රැජිනක් වගේ බලා ගන්නව

දසුන් දැඩිව ඉටා ගත්තා.


" මම එහෙනම් යනව පුතේ.තව හිටියොත් බස් එකට පරක්කු වෙනව"

පුංචි එතනා යන්න ලෑස්ති උනා.

දසුන් තම මවගෙ කකුල් දෙක අල්ලලා වැන්දා.

" මයෙ කොල්ලට තුනුරැවනේ සරනයි"

දසුන්ගේ හිස සිඹ තෙත් බර වූ දෙනෙතින් නැවත කදුලු කඩා හැලෙන්න කලින් පුංචි එතනා යන්න පිටත් උනා.

අනික් අයත් එක්ක එකතු වී ඉදිරියට ඇදෙන තම මවගේ රැව නොපෙනී යන තෙක්ම දසුන් ඒ දිහා බලන් හිටියා.

මතු සම්බන්දයි..

Tuesday, 27 March 2018

බලාපොරොත්තු | HOPES (1 කොටස)

නුවර අහස රත් පැහැ කරගෙන ඉර තවත් දවසක් අරගෙන යනව. බෝගම්බර හිර ගෙදර තාප්පෙට උඩින් පිටත ලෝකයක් කියල පේන්නෙ මේ අහස. හැමදාම දකින අහස උනාට මේක හැමදාම පේන්නෙ අලුත් අහසක් වගේ.

වලාකුලු අස්සෙන් අම්මගෙ මූන ඇදිල තමන්ට කතා කරනව වගේ දසුන්ට පෙනුන. අනේ අම්මෙ ආසයි අම්මගෙ ඔඩොක්කුවෙ ඉස්සර වගේ නිදා ගන්න, අම්ම අතින් අනල දෙන බත් කටක් කන්න. මේ හිර ගෙදර මට අපායක් අම්මේ. හරියට නිදා ගන්න නෑ. කන්න නෑ. හතර වටේටම අපරාද කාරයො. වෙලාවකට මගෙ බත් පිගානත් උන්ට දීල මට වෙන්නේ බඩගින්නෙ ඉන්න. මට හරි කරදරයි අම්මේ. අම්ම මලක් වගේ හදපු මට මුන් දෙන දස වස ඉවස ගන්න බෑ අම්මේ. අම්ම ආදරෙන් හදපු පුතාගෙ අත්වල නියපොතු නෑ අම්මෙ උන් ගලවල දාල. එක ඇහැක් තඩිස්සි වෙලා ලේ බැහැල. උඹට මාව මේ විදියට බලන්න බැරි වෙයි අම්මේ ඒකයි මම මේ පාර බලන්න ආවම මූන බලන්නවත් ආවෙ නැත්තෙ. සමහර විට මට ආයෙ කවදාවත් අම්ම බලන්න බැරි වෙයිද සැකයි. අහස දිහා බලාගෙන දසුන් තමන්ටම මුමුණ ගත්තා.

දසුන්ගේ හිත අතීතයට දිව ගියා.

................................••••••••.................................


"අම්මේ...අම්මේ.... ඩිස්කි ඩිගාරෙ...දන්නවද වැඩක්."

දසුන් වේගෙන් තමන්ගෙ ෆුට් සයිකලේ පැදගෙන ගේ වටේ රවුමක් පැදලා දොරෙනුත් ඇතුලට පැදගෙන ආවා.

"කොල්ලො තොට ඔල්මාදෙ ද? යකෝ ඔය උලුවස්ස ඇගට කඩන් වැටෙයි. ඊයෙ වැස්සට මුලු ගේම තෙමිල. මැටි බිත්ති ටිකත් පොගල ඇත්තෙ. මම මේ කීයක් හරි එකතු කරල වහලෙට තහඩු කෑල්ලක් දාන්න හිටියේ. කෝ ඉතින් උබේ විභාග කෙරැවාව නිසා ඒකටත් අතේ පිච්චියක් නැතුව ගියා."

පුංචි එතනා දසුන්ට ටිකක් තරවටු කරා.

" අම්මේ අම්ම වැඩිකල් කඩචෝරැ උයන්න ඕන නෑ තව. "දසුන් කීවා.

"ඇයි උඹට එනගමන් අතරමගදි හතර මහ නිධානෙ පහල උනාද? මම මේ කර කර හිටපු වැඩෙත් දාලා ආවෙ උඹෙ සද්දෙට"

පුංචි එතනා කීවා.

"අම්මේ රිසල්ට් ඇවිත්. මම කැම්පස් සිලෙක්ට්. මට දොස්තර මහත්තයෙක් වෙන්න පුලුවන් අම්මේ."

දසුන් එක හුස්මට කියාගෙන කියාගෙන ගියා.

පුංචි එතනාගෙ හදවත මදකට නැවතුනා වගේ දැනුනා. දසුන්ලගෙ තාත්තා දසුන් පහ වසරෙ ඉද්දි වාහනේකට යට වෙලා මලා. යට කරන් ගියේ කවුද කියලා මේ වෙනකන් ඔප්පු කර ගන්න බැරි උන නිසා උන් නිදහස් උනා. 


"ඕවට නඩු කියන්න කොහෙන්ද අපිට සල්ලි. ඒ කරා කියලා මැරිච්ච මගෙ මිනිහට පණ දෙන්න බෑනෙ. "

පුංචි එතනා ඒ වැඩේ අත ඇරලා දැම්මා. 

දවසට තුන් වේලම කාල ඇදල උන්නු දසුන්ල අන්තිමේ දවසට එක් වේලක්වත් හොයා ගන්න බැරි තත්වෙට වැටුනා. දරිදෘතාවයෙන් මිරිකී හිටපු පුංචි එතනා ජීවිතේ යන්තං ගැට ගහ ගත්තේ කඩවල් වලට කඩයප්පං හදලා. දසුන්ලගෙ අප්පොච්චා හිටිය කාලෙ ගොඩ වැදුන එකෙක් වත් දසුන්ල උන්නද මලාද බලන්න ආවෙ නෑ. වාසි පැත්තට.හෝයියා කියල දසුන්ලගෙ නෑයො ටිකත් දසුන්ලගෙන් ඈත් උනා. රජයෙන් වන්දියක් ලැබෙනව කීවත් ඒක ලැබුනෙත් නෑ. දසුන්ගේ පංති වියදම් හොයා ගන්නට පුංචි එතනා තමන්ගෙ කණ කර පවා උකස් කරලා තිබුන. අන්තිම මාස ටිකේ පුංචි එතනට අසනීප උනා. ඒත් කොල්ලාගෙ ඉගෙනීම මග නතර කරන්න බැරි නිසා සන්තකේටම තිබ්බ එකම දේ, ගේයි ඉඩමයි උකස් කරන්න සිද්ධ උනා.හරියට කුසට අහරක් වත් නැතුව කොල්ලට උගන්නපු එක ගැන පුංචි එතනට දැන්නම් තිබුනේ සතුටක්. 


"මගේ පුතේ.."

පුංචි එතනා දසුන්ව පපුවට තුරැලු කර ගත්තා. ඇයට කියා ගන්න බැරි තරම් වචන හිර වුනා..කදුලු කැට සට සට ගා ඇගේ කොපුලෙන් බිමට වැටුනා.ඇය මද වේලාවක් මුකුත් නොකියම දසුන්ව බදාගෙන හැඩුවා. අම්ම කෙනෙක්ට මීටත් එහා සතුටත් වෙන කොහෙන්ද?

"දෙයියො අපි දිහා බැලුව පුතේ. ජීවිතේ හැමදාම දුක් විදින්න ඕන නෑ. මම දන්නව මගෙ කොල්ල දස්සයා කියලා. කවද හරි උඹ ලොකු මහත්තයෙක් වෙලා එනකං උබෙ අම්මට ඉවසිල්ලක් නෑ. අද උඹලයෙ අපුච්චත් හිටිය නම්.උන්දැ කොච්චර සතුටු වෙයිද? කදුලු අතරින් පුංචි එතනා කීවා.


"අම්මේ මම අපේ ටීචටත් පණිවිඩේ කියල එන්නම්. "

දසුන් බයිසිකලය නැවත හරවා ගත්තා.


" හා මයෙ පුතේ. පරිස්සමෙන් ගිහින් වරෙන්. "

කඩුල්ල දෙසින් මැකී යන රැව දිහා පුංචි එතනා බලාගත් වනම බලන් සිටියා. පිලිසරනක් නැතුව ගෙවුනු ජීවිතයට අලුත් බලාපොරොත්තු රැසක් ඈ පොදි බැද ගත්තේ සියුම් ආඩම්බරයකින්.


මතු සම්බන්දයි.....

Tuesday, 21 November 2017

Archi අපේ ජීවිත

වෙලාව උදේ 4.30 යි..

පාන්දරම නැගිටලා නේද..

නෑ දැනුයි කැම්පස් එකේ ඉදන් බෝඩිමට ආවෙ..

නිදාගන්න නිදි මතයි..

ඒත් නිදා ගන්න බෑ බයයි..

උදේ 8.30 වෙද්දි කැම්පස් එකේ ඉන්න ඕන..

නැත්තන් ..

submission එක අවුල්..


අනික් උන් නිදි ඇති..

ඊයෙ දේදුනු ගංතොට බලන්නත් ඇති..

හවස සෙල්ලං කරන්නත් යන්න ඇති..

සමහර විට සති අන්තෙ ගෙදර යන්නත් ප්ලෑන් කරල ඇති..


ඒත්..,

ඩිග්‍රියට දියවෙන අපේ ජීවිත..

කවදා දකීද ආලෝකයක්..

අනික් උන් වගේ ලස්සන ජීවිතයක්..

ගෙදර ගිහිනි එන්න දවසක්..


නෑ එක්කෝ එච්චර ඕන නෑ..

ලැබුනනම් එක දවසක්..

නිදාගන්න එලි වෙනකන්..

ඒකත් වේවි අස්වැසිල්ලක්..

"උඹලා මොනවද බන් දන්නෙ?"

"උඹලා මොනවද බන් දන්නෙ?"


දෙමව්පියන්ගෙ සල්ලි වලින් කාලා ඇදල,

සැප පහසු ගේ ඇතුලෙ ඉදන් ලෝකය දැකපු උබල,

ඩිග්‍රියක් කරන පලියට හිතුවනම් තමන් නොදන්න දෙයක් නෑ කියල,

තමන්ට තරම් අත්දැකීම් ලොවෙත් නෑ කියල,

තමන්ගෙ තීරනේ තමයි හරිම කියල

තමුන්ට පහල ඉන්න එකාට වඩා තමුන් හෙන බුද්ධිමත් කියල,


පහල ඉන්න එකාව තලන්න කලින් පොඩ්ඩක් හිතුවනම්..


උබ උදේ වාහනේ ඉස්කෝලෙ ලගින් බහිද්දි,

උදේ 4.30ට නැගිටලා කිලෝ මීටර් ගානක් ෆුට් බයිසිකලේ ගිහින් තව පැයක් විතර බස් එකේ ගිහින් ඉස්කෝලෙ යන එකාට අව් වැසිවත් අනුකම්පාවක් නැති බව උඹ දන්නෑ..

අලුත් වාරෙට ලස්සන පොත්, ස්ටිකර් ගන්න බලං ඉන්න උඹ,

අලුත් පොත් ටික ගන්න සල්ලි නැතුව ගෙවල් ගානෙ ගිහින් පොල් කටු එකතු කරලා ඒවා පුච්චල සල්ලි එකතු කරපු උන් ඉන්න බව උඹ දන්නෑ..

අඩුම ගානෙ පොල්කටු දුමේ තියන අමුතු ආතල් එකවත් උඹ දන් නෑ..

එහෙව් උන්ගෙ දුක උඔ දන්නෑ..


එහෙව් දුක් විදපු එවුනුත් උබත් එක්ක එකම මට්ටමේ හරි හරියට ඉගෙන ගන්න බව උඔ දන්නෑ..

හැමදේම උඹේ තලයෙන් බලලා ආ රැ.1000 නම් මොකක්ද කියල event වලට සල්ලි එකතු කරන උඹ,

ගෙදරට සල්ලි ටිකක් යවන්න මහපොල එනකං ඉන්න උන් ටිකකුත් ඉන්න බව දන්නෑ..


Internship ගිහින් ඒක තමයි පට්ටම ජොබ් experience එක කියල හිතං ඉන්න උඹලා,

ග්ලවුස් නැතුව ගඩොල් පෝරණුවක් බාද්දි අත් දෙකේ හම යන හැටි දන් නෑ..

පෝරණුවක් ගිනි තියන හැටි දැකල නෑ..

තරැණ කොල්ලො කෙල්ලො සොච්චම් පඩියට Factory ඇතුලෙ විදින දුක දන් නෑ..


Gym ගිහින් බර උස්සන උබල,

පට්ට අව්වෙ කුඹුරක් පෝරැ ගානකොට 

මඩත් එක්ක පෝරැව එහෙ මෙහෙ කරන්න කොච්චර හයියක් ඕනද දන් නෑ..

කදුකරේ මිනිස්සු යන්න පාරක් නැතුව කදු හරහා බර උස්සන් යන හැටි දන්නෑ..


KFC, Pizza Hut යන උබල,

ලුනුයි බතුයි වල රස අදුරන් නෑ..

FB එකේ සතෙක් මැරිල හිටියත් අනේ කියන උඹල,

මිනිස්සු විදින දුක අදුරන නෑ..


ටයිල් පොලවෙ සුමට බව දකින උබල,

ගොම මැටි ගාපු පොලවෙ සීතල දන් නෑ..

තැලිල තැලිල මුවහත් වෙච්ච මිනිස්සු

කවද හරි උබව පහුකරන් යද්දි,

ඒක සිද්ධ වෙනකනුත් උඹ ඒක දන්නෑ..


ජීවත් වෙයන් පොලවෙ පය ගහල

ඉපදෙන මැරෙන මිනිස්සු වගේ

ඇස් ඇරල බලපං ලෝකය දිහා

උබට දැනේවි

“උබල මොනවද බන් දන්නෙ?”

ඒත් ඒකත් උබ දන් නෑ