Monday 14 September 2020

වීදී සරන්නෙකු නොවෙමි

අවාරයේ පිපි රොබරෝසියා මලක් අත්තේ සිර වෙලා
පාලමේ යට තනි වු ලෝකයෙ පිටට පිට දී ළංවෙලා
බොල්ගොඩට ඉහළින් වැටුණු කජුකැලේ පාරෙදි තනි වෙලා
ගෙවූ මතකය අපහැදිලි වී හදේ කොතනක ගුලි වෙලා


ඇහෙනවාදෝ මා කියනා  කවි වේදනා ඊතල වලින්
පෙම අහිමි වී ඉඳුල් වුණු පව්කාරියකගේ ළය මැදින්
අතින් අත යන මිලට විකිණෙන ගැහැණු දෙස බලනා ඇහින්
කෙලින් බලනවා සමහරුන් අද රතිය දිලෙනා ඇස් වලින්


අසම්මතේ හැසිරුනා නම් මට කමක් නෑ මා මරාපන්
හිතේ විළිඹර වී තිබුණු පෙම වියරු වූ හැටි බලාපන්
ඔබේ ළඟ මම ලිහූ සළු හැමතැනම ලිහුවද හොයාපන්
පෙමක් නොකියා පෙමින් ඇලවුනු බැමි වලින් මා ලිහාපන්


ගහට ගහ එක්වෙනා පුරයෙදී බහ නොදී අප හමු වෙලා
කියාගන්නට බැරිවු ස්නේහය හිතේ පතුලේ හිර වෙලා
ඔබත් එක්කම ඔබේ මතකය බොල්ගොඩේ පතුලේ වෙලා
තනිව පියමං කරමි ඉවතට සිව් වසර අවසන් වෙලා




අවශේෂ

ගමේ පල්ලියේ
ගීතිකා ඇසුනා
කුරුසෙටත් ඉහළින් 
තරුවක් දිලුණා
අඩක් පෑයූ සඳක්  අහසේ        
කලු වලාවක් එක්ක වැහුණා...//

ගීතිකා හඬ...
දසන් රැඳුණා
අල්තාරේ මත...
පහන් දැවුණා
පුංචි උන්ගේ...
නෙත් පියන් පත්,
යොමාගෙන දිලි දිලී තිබුණා

වඳින පුදන අදහන තැන
දනින් වැටී නමදින තැන 
මට කියාපන්...
උඹලා... කොහොමද ,මා හැර දා ගියේ...

මරණය ස්වර්ගය කැටි කොට
ආගම ජාතිය ගැති කොට 
මට කියාපන්...
මිනිසුන් කොහොමද නොමිනිසුන් වුණේ...

ගමේ පල්ලියේ
ගීතිකා ඇසුනා
කුරුසෙටත් ඉහළින් 
තරුවක් දිලුණා
අඩක් පෑයූ සඳක්  අහසේ
කලු වලාවක් එක්ක වැහුණා...//

මාසෙකුත් සති...
තුනක් ගෙවුණා
පාස්කුව කලු...
වීලා තිබුණා
සිහිල් වා රැළි..
ඇඟේ එතුණා
මතක උන්ගේ සුවඳ දැනෙමින් 
දැවටි දැවටී වැටිලා තිබුණා

ගමේ පල්ලියේ
ගීතිකා ඇසුනා
කුරුසෙටත් ඉහළින් 
තරුවක් දිලුණා
අඩක් පෑයූ සඳක් අහසේ
කලු වලාවක් එක්ක වැහුණා...//




ගමේ ඉස්කෝලේ

අහස තරු කැට විසුරුවාගෙන ඔබ එතැයි මග බලනවා
සුසුම් පොද රැල් පාවි පාවී ඔයා ගැන සිහි කරනවා
මතක සුවදයි හිතට සිහිලයි අපේ හිත් තව හඩනවා

කවි අකුරු කල සිනා දග කල
දැවටි දැවටී නියර ගානේ පා තැබූ හැටි මැවෙනවා...


අමර නයනා සල් ගසක් යට තවම මල් කඩනවා ඇති
තාන් සුවදයි අලුත් පොත් වල අපේ කාලය යන්නැති
බාග බිත්තිය හරහා පීරා වෙලේ වා රැස් එන්නැති
ගෙවුනු කාලය විදු බිමේ අපි මතක පමනක් වෙන්නැති

ඉගෙන ගන්නට අකුරු කෙරුමට ගම දමා උබ යන්නැති
නුබේ සුවදත් නුබේ වචනත් පන්තියේ මතකේ ඇති
උබේ ඩෙස් එක උබේ බංකුව තවම නුබ වෙනුවෙන් ඇති
මගේ කාලය අහවරයි අද මතකයට සමු දෙන්නෙමි

අහස තරු කැට විසුරුවාගෙන .....





තනිවෙච්ච අතීතය

උළු වහලෙට මකුළු දැලින් රටාව වැටිලා
මහ ග්‍රීෂ්මෙ දරාන උන් කතා කියනවා
බූව තියෙන කොළ අතු මිට රිටකට බැඳලා
අතු මිටියෙන් වහලය ඇමදුව සිහිවෙනවා

පරාලයයි යටලීයයි ටික ටික දිරලා
අපිටත් නොකියම කාලය හනිකට දුවලා
මේ බිම දුව පැන ඇවිදපු කාලය මැවිලා
මගේ පුංචි අතීතයේ මම සිරවීලා

ඉසුරු සොයා වාසිටියට ගිය දා ඉඳලා
අම්මේ නුඹ සිහිවෙනවා බඩගිනි දැනිලා
බත් ගුලිකර ඉස්තෝප්පු පඩියේ ඉඳලා
මට කවාපු හැටි මැවෙනවා හිත මගෙ රිදිලා

හිතුවත් අපි අයිතිය ගෙදරට තව කියලා
අපේ වැඩයි අපිවම පිටමං කර දාලා
ඉඳහිට ගෙට ගොඩවෙන්නට යන්නට හිතිලා
දුටුවෙමි ඒ අතීතෙ ගේ එක්කම දිරලා

ඉස්සර මං බලාන උන් පඩියේ ඉඳලා 
අප්පච්චී ඉන්නවා අද මං එයිද බලා
මගෙ වියදම යවන්න වැඩියෙන් වැඩ කරලා
උස මහතට හිටිය ඔහුත් දැන් වැහැරීලා

අපෙ කටහඬ ආලය සිනහව ඉතිරීලා
තිබිච්ච ගේ පාලු වෙලා අඳුරේ ගිලිලා
හීන පස්සෙ දිව්වා ඔක්කොම මඟ දාලා
සතුට තිබුණු තැන හොයනවා මම නැවතීලා




මොරටුවත් ලස්සනයි

මහවැලිය තරමටම
බොල්ගොඩත් ලස්සනයි..

යන්ත්‍ර මෙන් දිව්වාට 
ඒ හිතුත් ලස්සනයි..

කදු වලා නැතුවාට 
කජු කැලෙත් ලස්සනයි..

ගිම්හානෙ පෙම් බැන්ද 
මොරටුවත් ලස්සනයි..

- රුචිර වීරකෝන් -
06.03.2020




"වල" කැන්ටිමේ ගෙවූ හවස්

ආදරණීය වල,

එදා මෙන් අද සවස් වරුවෙත් වලට මහ 
වැසි එන්නැතී..
කවි ලියන්නට පෙම් කරන්නට කවුරුත් ම 
එහි නැතුවැතී..
රෑ ගනන් මෙහි පහන් කල හැටි සිහි වෙවී 
හඬමින් ඇතී..
වැස්ස එක්කම අපිත් එනකල් මග බලාගෙන 
තව ඇතී..

-රුචිර වීරකෝන්-
07.06.2020




සැමරුම

යදම් වැල් පුරුක් මෙන් 
එකිනෙකට යා වෙච්ච..

රට රකින දෑත් ඇත 
නිවසෙ තැන හිස් වෙච්ච..

දිවි පුදා රැක ගත්ත 
මව් බිමට පණ වෙච්ච..

විරුවනේ අපි ණයයි 
අපෙ පිනට ඉපදිච්ච..

- රුචිර වීරකෝන් -
18.05.2020




Never Give Up

උඹ ජීවිතේ බිංදුවෙන්ම පටන් ගත්ත එකෙක් වෙන්න පුලුවන් 
ලැබීම කියන දේ විවිධාකාරයි
සමහර මිනිස්සු උපතින්ම සල්ලි කාරයො
සමහර මිනිස්සු උපතින්ම ඉගෙන ගන්න දක්ශයො
සමහර මිනිස්සුන්ට ඒ දෙකම නෑ

ඉගෙනෙ ගන්න ගියත් වැඩ කරන්න ගියත්
මහන්සියක් නැතුව ගොඩ යන මිනිස්සු ඇති තරම් 
ඒ උන්ගෙ ලැබීම
ඒත් ඒවා දැකලා උබ මහන්සි වෙන එක අත් අරින්න එපා
මොකද උබටත් හීන ඇති

"දෛවය උබට සරදම් කරන්න එනකොට උබ ඊට වඩා සැරට දෛවයට සරදම් කරපං"

විශ්වාස කරපං එහෙම මිනිස්සු ඇති තරම් මේ ලෝකෙ ඉන්නවා
උන් දිනන එක නවත්වන්න කාටවත් බෑ

- රුචිර වීරකෝන් -




ගෙවුනු මතක

හසරැල් කදුලැල් විරහව සෙනෙහස 
දුන්නු ලැබුනු හිත් යාය පුරා..

මහ රෑ වෙනකන් අඩි හැඩ වැඩ කර 
නැටූ ගැයූ අපි වෙහෙස දරා..

අද හරි පාලුයි එදවස් සිහි වෙයි 
අපේ රුව මැවී භවන පුරා..

මතකය මිහිරියි උබලව සිහි වෙයි 
මම තනිවී ඇත මතක දරා..

- රුචිර වීරකෝන් -
01.03.2020