Saturday 28 December 2013

කාලය මැවු වෙනසක අරුමේ...... ( අවසාන කොටස )



එකොලොස්වෙනි කොටසට (ඒ කියන්නේ අන්තිම එකට කලින් කොටස) >

ෆෝන් එකෙන් යනවනම් මේ ලින්ක් එකෙන් යන්න >




"පුතාලා කෝ නැගිටින්න"
පුබුදංගයි මායි හොදටම නිදි. ඇන්ටි ඇවිත් අපිව ඇහැරවන්න.

"ආ ගුඩ් මෝර්නින් ඇන්ටි."
කියලා මම ආයෙත් හැරිලා නිදා ගත්තා. 

පුබුදන්ග නම් හිටියේ ලෝකෙ විනාස උනත් නැගිටින්නේ නැති ගානට. කලින් දවසේ රෑ පාඩම් කිරීම කෙසේ වෙතත් ඇහැරලා හිටියා මැදියමත් පහු වෙනකන්. දැන් ඉතින් ඒකේ ඇරියස් එකත් අල්ලන්න එපැයි.

"පුතාලා නැගිටින්නකෝ"
ඇන්ටිගේ දෙවන විදානයෙන් දනි පනි ගා මම නැගිට්ට. ඊට පස්සේ දෙක තුනක් ඇන්නා පුබුදන්ග ඇහැරවන්න. ඌ ඇහැරෙන පාටක් නෑ. මම වද දීලා දීලා කකුලෙන් ඇදලා ඌව දැම්මා ඇදෙන් බිමට. ඔන්න යන්තන් ඇහැරුනා.

"මේ යකාව ඇහැරවනවට පුතාට නොබෙල් ප්රයිස් එක දෙන්න වටිනවා"
ඇන්ටි හිනා වෙවී කියලා අපිට තේ එකත් දීලා ගියා.




(අහ් මම කලින් කීවද මන්දා. මම පුබුදන්ගලගේ ගෙදර නැවතිලා තමයි පාඩම් කලේ. එයාලගෙ අම්මයි තාත්තයි බොහොම ආදරෙන් මට සැලකුවා ඉතින්. සරත් අංකල් ට නම් මම බයයි චුට්ටක්. හැබැයි ඇන්ටි එක්ක නම් අපි වෙලාවකට මරු මරු විහිලු කරනවා. ඇන්ටි වෙලාවකට එක පිගානේ බත් බෙදන් ඇවිත් අපි දෙන්නටම කවනවා. අපේ අම්මා මට බත් කවනවා වගේ. මට ඒ වෙලාවට මගේ අම්මා තාත්තා ලග ඉන්නවා වගේ මට දැනුනා. ඒ අතීතෙ හරිම ලස්සනයි. ආදරණීයයි)




ආවට ගියාට අවාරෙට පොල් වැටෙනවා වගේ ඉදලා හිටලා ඉස්කෝලෙ ගියා ඒ දවස් වල. ටියුශන් ක්ලාසුත් හැමදාම දාලා. මම හිතන්නේ 80% බලලා ඉවර උන නිසා වෙන්න ඇති. 

ඒ අවුරුද්දේ මැයි, ජූනි මාස. ඒ වාරෙ අපි ඉස්කෝලෙ ගියත් අපි ඔක්කොටම එක දවසේ වෙනදා වගේ සෙට් වෙන්න හම්බුනේ නෑ. පන්තියේ ඩෙස් පුටු හුගක් හිස්. අපිත් එක්ක හිටපු හුගක් යාලුවෝ ක්ලාස් ගිහින්. සමහරවිට අපි ක්ලාස් යන දාට උන් නෑ. මේ ගෙවෙන්නේ ලස්සන ඉස්කෝලෙ කාලෙ අන්තිම දවස් ටික. පන්තිය මට නිකන් දැනුනේ යුද්දෙකට පස්සෙ අනාත උන භූමියක් වගේ. සමහරු නම් හෝ ගාලා කොනකට වෙලා ගනන් හදනවා. අපිත් එක්ක විනෝදෙන් හිටපු යාලුවොත් ඉස්කෝලෙ ඇවිත් නැති උනාම ඒක සමුගැන්මටත් පෙර සමුගැන්මක් උනා.

 අතීතයේ සිද්දි එකින් එක මට මතක් උනා. මුල් දවස් වල කෑ ගහලා ගුටි කාපුවා. හොරෙන් පන්තියෙන් පැනල මැච් එකේ ලකුනු බලන් ඇවිත් ආයේ පන්තියට ආපුවා. සුම්මා බයිට් කරලා ගුටි කාපුවා. මේ බිත්ති හතරට හිර වෙලා ලස්සන දේවල් ගොඩක් අපේ ජීවිතේ සිද්ද උනා.

ඇත්තටම දුකයි ඒ ගැන හිතද්දි. පන්ති කාමරයයේ අතරින් පතර ලමයි කීප දෙනෙක් හිටියා. අනික් ඩෙස් නිකන් දුකින් ඉන්නවා වගේ දැනුනේ. මම හිටපු ඩෙස් එක දිහා බලද්දි ඉබේටම මට හිනා ගියා. 
ඒකෙ චිත්ර කතාවක් ඇදලා තිබ්බා. බයික් එකක කොල්ලෝ දෙන්නෙක් යනවා. පොලිසියෙන් ඒ පස්සේ පන්නනවා. උඩින් ලියලා තියනවා 

"DPයි පියුමාලුයි කැකිරාවේ ගිය හැටි"කියලා.

ඒ කාලෙ වෙච්ච ලස්සන සිද්දියක් ඒක. මුන් දෙන්නා කෙල්ලෙක් බලන්න ගිහින් පොලිසියට මාට්ටු වෙලා ගෙදරටත් නෝන්ඩි උනා.ඒ සිද්දිය මතක් වෙද්දී අදටත් හිනා යනවා. මම හිතන්නේ ඒක හසිතයගෙ වැඩක්.

 ඊට මෙහා පැත්තේ ඩෙස් එකේ axio එකක steering wheel එක ඇදලා තිබ්බ. ඒ කියන්නෙ ඒකෙ ඉදල තියෙන්නේ යොමාලයා. අනික් පැත්තේ ඩෙස් එකක කාටුන් රූප ගොඩක් ඇදලා DEVANZ කියලා ආර්ට් වගයක් එහෙම දාලා තිබ්බා.ඒක නම් අනිවා විද්වයගෙ වැඩක්.


හැම පන්තියකටම වෙන් වෙච්ච ඒ ඒ ජාතියෙ සිගිති ආතල් තිබ්බා.පොඩි කාලෙනම් රොකට් හදපුවා තමයි ඉතින් කලේ. ටිකක් ලොකු වෙද්දී ඇම්ඩෙක් ආවා පන්තියේ කතා වලට. හැබැයි අන්තිම කාලෙ නම් ඒ ඔක්කොම තිබ්බා. ඉස්කෝලේ ලොකුම ලමයිනේ. ඒ නිසා ලොකු ලොකු වැඩ ගොඩක් තිබ්බා ඉතින්.

මම ඩෙස් එකේ ඔලුව තියාගෙන කල්පනා කර කර හිටියා. සුදු පාටින් පේන්ට් කරපු සිවිලිමේ අතරින් පතර මකුලු දැල් බැදිලා තිබ්බා.ෆෑන් වල මාකර් පෙන් වලින් රවුම් ඇදලා. බල්බ් දෙක නම් තිබ්බේ නෑ. මොකෙක් හරි ගලවන් ගිහිල්ලා. සිවිලිමේ එක එක කොනක කුණු ගෑවුනු අත් පාරවල් ගොඩක් තිබ්බා. මට ඉස්සර කාලෙ මතක් උනා.එතන බෝර්ඩ් එක අයින් කරලා සිවිලිම උඩට නගින්න පුලුවන්. අපි එතන තමයි අපේ ෆෝන්, කෑම පාර්සල් එහෙම හදිසි අවස්ථා වල හැන්ගුවේ. අපි ගියාම ඉස්සරහට එන පරම්පරවේ පොඩි එවුනුත් ඒකම කරයි. 

අපේ සර්ල මැඩම්ලත් අපිට ඉගැන්නුවා වගේම එයාලටත් උගන්නයි. සමහරවිට අපි ඉස්කෝලෙ හිටිය කියලා මතකයක්වත් එයාලගේ හිත් වල නැති වෙලා යයි කාලයත් එක්කම.

කදුලු වලින් බොද වෙලා යන ඇස් වලින් මම ජනේලයෙන් පිටත පේන ක්රීඩා පිටිය දිහා බලාගෙන හිටියා.

"ඩින් ඩොන් ඩින්න්......ක්රී....න්"
පාසල අවසන් වෙන සීනුව නාද උනා. 

"යෝ වද තම් පවරෝ මනුජේසූ...
 සක්ය මුනී භග වා කත  කිච්චෝ..
 පාර ගතෝ බල..............."

.....................................................................


ආයෙ අපි ඉස්කෝලෙට ගියේ ඇඩ්මිශන් ගන්න එන්න කීව දවසේ. අපේ කොල්ලෝ ඔක්කොම එදා නම් ඉස්කෝලෙට ඇවිත් තිබ්බා. ඒත් අද හරිම අමුතුයි. මුලු ඉස්කෝලෙම අමුතු ශෝකයකින් වෙලිලා වගේ මට දැනුනා. කොල්ලෝ එකා දෙන්නා තැන තැන කතා කර කර හිටියා.

"අඩෝ භාතිය ගුඩ් මෝර්නින්. මොකෝ බන් ඈස් දෙක එලියට පනින්න වගේ. උබ එලි වෙනකන් පාඩම් කරාද?"
යොමාලයා ඇහුවා.

"නැතුව නැතුව මේ ඉතින් අපිවත් ගොඩ දාගෙන කැම්පස් යන්න ඉන්න එකානේ"
සමිතයා කීවා.

"එහෙම තමයි මචන් අපි දැන් හොද ලමයිනේ. උබලා වගේ නෙමෙයි. පාඩම් කරනවා"
භාතිය කීවා.

"අඩෝ පල ඩෝ යන්න තෝ ඊයේ රෑ එලි වෙනකන් විතර FB ඉන්නව මම දැක්කා"
තවත් එකෙක් මැද්දට පැනලා කීවා.

"හා ලමයි ඔක්කොම එන්න ප්රදාන ශාලාවට."
විජේකෝන් සර් අපිට කතා කරා.

අපිව එතනට රැස් කරලා සර්ලා අපිට කතා කරා. ඒ කීවේ පොඩි රැස්වීමක් තිබ්බා. මේ අපි mainhall එකේ ඉන්න අන්තිම දවස. පොඩි කාලෙ මේක ඇතුලේ සමිති සමාගම්, උත්සව කරපු හැටි මට මතක් උනා. ඒ එක්කම හිතට ගොඩක් ලොකු දුකක් දැනුනා.

"උසස් පෙල ශිශ්ෂයන් ලෙස බොහොම උනන්දුවෙන් හොදට පාඩම් කරලා, මේ ලමයි විභාගෙ ලියන්න ඕනෙ. මේක ජීවිතේ තීරනාත්මක විභාගයක්........"
විජේකෝන් සර් අපිට හරවත් දේශනයක් දෙනවා.

"ඒ බන් අපි අන්තිමට එන අද වගේ දවසකත් අපිට මේ කරච්චලේ අහන්න උනානේ"
සුපුනා මගෙ කනට කරලා හිමින් කීවා.

ඊට පස්සේ හාමුදුරුවෝ ඇවිත් පිරිත් කියලා අපි ඔක්කොටම පිරිත් නූල් බැන්දා. ඒ වෙනකොටත් හැම එකාගෙම අතේ කඹ වගේ ලොකු පිරිත් නූල් තොගයක් අත පිරෙන්න බැදලයි තිබ්බේ.

ඊට පස්සේ ඇඩ්මිශන් දෙන්න ගත්තා. ඇඩ්මිශන් දෙන්න ගත්තේ පන්තියෙන් පන්තියට. ඉතින් අපේ පන්තියට ඇඩ්මිශන් දෙද්දි අපිට කෝල් එකක් දාන්න කියලා අපි පොඩි රස්තියාදු පාරක් ගැහුවා.

ඒ කාලෙ අපි ඉස්කෝලෙ කාලා වතුර බීල හිටියේ. අපි පිනාගෙ WIFI එකෙන් පිනාට හොරෙන් ඒ දවස් වල ඉන්ටනෙට් යනවා ඉස්කෝලෙදි. පීරියඩ් කට් කරන වෙලාවට ඉස්කෝලෙ වටේ දුවපු හැටි තාම මතකයි පිනා එනවා දැක්කම.






 මම පිට්ටනිය පැත්තට ගියා. පොඩි ලමයි වගයක් සෙල්ලම් කරනවා. මම ඒ දිහා ආසාවෙන් බලන් හිටියා. අපිත් ඒ කාලෙ ඔය වගේම සෙල්ලම් කරා. මොකක්ද වැරද්දකට පාදෙණිය මැඩම් කොල්ලෝ දෙන්නෙක්ව junior secton office එක ඉස්සරහ දණ ගස්සලා තියනවා ඈතින් පෙනුනා. අපිත් ඉස්සර කොට කලිසමත් ඇදන් ඉස්කෝලෙ හිටපු හැටි මට අද ඊයෙ වගේ මතක් උනා. කාලය අපිට වඩා කොච්චර ඉක්මන් වෙලාද ඇත්තටම. අපි පොඩි කාලෙ හිටපු බිල්ඩින් එක දිහා මම ටිකක් බලන් හිටියා. 


ඊට පස්සේ මම කැන්ටිමත් පාස් කරන් ඉස්කෝලෙ අනික් කොනට ගියා. එතකොට මගෙ ඈස් දෙකට හම්බුනේ අපේ ආදරණීය මතකයන් ගොඩක් ඉතුරු කරන් දුකින් වගේ ඉන්න media unit කියලා ගහපු පුංචි ගොඩනැගිල්ල. ඒ පුංචි ගොඩනැගිල්ලේ ඉදන් අපි ලොකු ලොකු කෑම්ප් පවා ඕර්ගනයිස් කරපු හැටි දවල් රෑ නොබලා ඒවට කට්ට කාපු හැටි මට මතක් උනා. ප්රාථමික අංශය පසු කරන් මම ගියා මධ්ය අංශය පැත්තට. ඒකත් එදා වගේම අදත් ලමයින්ට සෙවන දෙනවා. ඒත් එදා වගේ අපිට ඒ ගොඩනැගිලි වල පන්ති කාමර වල ඉගෙන ගන්න, සින්දු කියලා මාට්ටු වෙලා office එක ලග දණ ගහන් ඉන්න ආයේ දවසක් උදා වෙන්නේ නෑ.

මම කෘශිකර්ම කාමරේ පැත්තෙන් ටොයිලට් පැත්තට ගියා.

"නිදහසේ චූ කරන්නාට බාදා කිරීම ඊලග ආත්මයේ ### @@ වීමට හේතු වේ"

අපි ඒ දවස් වල ලියපු එකක් තාමත් බිත්තියේ ලොකුවට තිබ්බා. ඒක දැකලා මට තනියම හිනා ගියා. 

මම අපෙ පුස්තකාලය ලගට ආවා. 
"සියවස් සමරු පුස්තකාලය" බොහොම තේජාන්විතව තාමත් එදා වගේමයි. අපි වගේ හුගක් ලමයි එතුලට පිවිසෙන්න ඇති. අපි වගේම ඒ ගොල්ලන්ගෙ කාලය ඉවර වෙද්දි ඉස්කෝලෙන් සමු ගන්න ඇති. ඒත් මේ පොත් එදා පරම්පරාවෙ ඉදන් අද පරම්පරාවට එනකන් බොහෝ දේ දන්නවා ඇති.

 එතන පහු කරන් basketball පිටිය පැත්තට මම ආයෙත් ආවා. මම ඉස්කෝලෙ වටේ ඇවිදින අතරේ හම්බුනු මගේ හැම ගුරුවරයෙකුට වැදලා කතා කරා. 

"සර්/මැඩම්, මම ආයේ මේ ඉස්කෝලෙට දග කරන්න එන්නේ නෑ. ඒ කාලෙ වගේ ඔයාලාගෙන් ගුටි කන්න මට ආයේ එන්න බැරි වෙයි. අපිට ඔයාලගෙ ආදරේ ගොඩක් දැනුනා සර්/මැඩම්. අපි කොහොමද මේ ලස්සන ලෝකෙ අත ඇරලා දාල යන්නේ. මතකද අපි පොඩි කාලෙ දග වැඩ කරපු හැටි. කියන දේ චුට්ටක් වත් ඇහුවේ නෑ නේද අපි. කෝටු කැඩෙනකන් වේවැල් පාර දෙන්න ඇති අපිට. ඒත් කාලය විසින්ම අපිට අපේ ඉස්කෝලෙ දාල යන්න කටයුතු සලස්වලා දැන්. අපි කරපු මෝඩ වැඩ දිහා අනුකම්පාවෙන් ඔයාලා බලන්න ඇති. අපි අතින් ඔයාලගෙ හිත් රිදුනම අපිට තියන ආදරේට ඒක පිටට පෙන්නන්න නැතිව ඇති. ලමයි හැමදාම එනවා ආයෙත් යනවා. ඒක ඔයාලට හුරු පුරුදු දෙයක් වෙන්න ඇති. ඒත් අපි මෙහෙම අපේ ඉස්කෝලෙට එන අන්තිම දවස අද කියල දැනුනම මැඩම්/සර් ඔයාලටත් ගොඩක් දුක ඇති නේද?"

ඒ වැදපු කතා කරපු හැමවෙලේම මට හිතුනා. ඔවුන්ටත් ඒ දේ මගේ ඇස් දෙකෙන් තෙරෙන්න ඇති.


 "මචන් වරෙන් ඇඩ්මිශන් දෙන්න පටන් අරන්."
මැගියා මට කතා කලා.

සර් අපිව physics ලැබ් එකට එක්ක ගිහින් අපේ නම් අඩ ගහලා ඇඩ්මිශන් ටික බෙදලා දුන්නා.

"ඔය ලමයි මාත් එක්ක අවුරුදු දෙකකට ආසන්න කාලයක් ඉගෙන ගත්තා. දැන් තියෙන්නේ ඔයාලට ජීවිතේ තීරණය කරන විභාගයක් ඒකට හොදින් මූණ දෙන්න ශක්තිය ඔයාලට තියනව......"

සර් අපිත් එක්ක ගොඩක් දේවල් කතා කරා. ඒ වෙලේ නම් ඇත්තටම අපිට දුක හිතුනා. සර් ගෙන් ගුටි කකා හරි ආයෙත් ඉස්කෝලෙ යන්න තියෙනවනම් හොදයි කියල හිතුනා. ඒත් මොනව කරන්නද. අපෙ පන්ති වල දැන් වෙන ලමයි ඉගෙන ගන්නවා. අපි සමු ගන්නටත් කලින් ඉස්කෝලේ අපිට සමු දීලා. අපි අපේ ගුරුවරු ඔක්කොටම කතා කරලා ෆොටෝ දෙක තුනකුත් ගහන් main gate එක ලගට ආවා.



"අපේ සර්ලා දැන් අලුත් ලමයින්ට උගන්වනවා ඇති වෙනදා අපිට ඉගැන්නුවා වගේ."
අල්විස් කීවා.

"ඒ බන් කොහොමද බන් අපි ඉස්කෝලෙ දාලා යන්නේ"
තව එකෙක් කීවා. 


හඩන්නට බැරි උනත් හැමෝගෙම හදවත් හඩන බව මන් දන්නවා. එකා වගේ හැමදේටම හිටපු යාලුවෝ මෙහෙම වෙන් වෙනවා බලන් ඉන්න අමාරුයි. සමහරු හම්බෙන අවසාන දවස අද වෙන්නත් පුලුවන්. ශිශ්ෂයෙක් විදියට ඉස්කෝලෙට පය ගහන අන්තිම මොහොත. එකිනෙකා බොහොම දැඩිව වැලදගෙන සමුගැන්ම ප්රකාශ කරේ වෙන් වෙන්නට එපාමයි කියන හදවතින්. 

"මම එහෙනම් ගිහින් එන්නම් මචන්.හොදට පාඩම් කරපන්. එක්සෑම් එක දවසේ අපි හම්බුනත් නැත්තත් හොදට exam ලියපන්. උබලා වගේ හොද යාලුවෝ මට ආයෙ හම්බෙන්නේ නෑ මචං...."

එකෙක් තව එකෙක්ව බදාගෙන කියනව මට ඇහුනා. එකා දෙන්නා ඒ විදියට සමු අරන් තමන්ගේ ඒ ලස්සන කාලෙට සමු දීලා ගේට්ටුවෙන් පිටතට ඇදෙන්න ගත්තා.

පොඩි කාලෙ අම්මට තාත්තට වැදලා වතුර බෝතලේකුත් කරේ දාගෙන ඉස්කෝලෙ ආපු හැටි. යහලුවන් මැද ගෙවුනු මිහිරි අතීතයේ මතක සටහන් එකිනෙක මගේ මතකයට ආවා. මලිදෙව් මෑණියන් බොහොම දුකින් අපි දිහා බලන් ඉන්නවා ඇති.

මමත් ඒ කල්පනාවෙන්ම ගේට්ටුවෙන් එලියට ආවා.මලිදෙව් මෑණියෙනි ඉතින් සමුගන්න අවසරයි මට....!



සුලගේ ලෙලෙනා මල් සේ දගපා....
අප පාසල් ගිය කාලයේ.....
යාලුවෝ අද නැත වෙන අය එහි ඇත..
කාලය මැවු වෙනසක අරුමේ...

ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය..
හැම දෙන එක පන්තියේ විලසේ...
අප පොත් වල දුටු සිටුවරු රජවරු..
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ...

සාමලා අමරලා පොත් තුල තව ඇත..,
එන එන අය හා යාලු වෙතේ....
අපේම පාසල අපේම මව විය...
එදවස් අප හට නැත ආයේ...

සුලගේ ලෙලෙනා මල් සේ දගපා....
අප පාසල් ගිය කාලයේ.....
යාලුවෝ අද නැත වෙන අය එහි ඇත..
කාලය මැවු වෙනසක අරුමේ...


      -සමාප්තයි-





(පුරා දින සති ගණන් මම ඊලග කොටස දානකන් ඇගිලි ගනිමින් මා හා එක් වූ පාඨක ඔබ සැමට බොහොම ස්තූතියි. මා මෙන්ම ඔබත් ඔබේ ඒ සුන්දර පාසල් කාලයට පියමන් කරන්නට ඇතැයි මම සිතමි. මගේ කතාව ඔබේ හිතට දැනුනා නම් අන්න එතනදී මම සාර්තකයි කියලා මට දැනේවි. ඔබේ අදහස් උදහස් මට ගොඩක් වටිනවා.)



10 comments:

  1. haffoi...dan 2nd shy 1kata padam krpn..onna iwara wenakal kyewua....

    ReplyDelete
  2. Creatively written,Keep up the good work :)

    ReplyDelete
    Replies
    1. Thank u very much sis. I hope to start an another story after my a/lz. Plz wait till then :-)

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. supiri wadak ape e kaleth mathak una :( :( keep it up all the best

    ReplyDelete
    Replies
    1. Thank u very much udara aiye :-)
      Surely i will.
      Keep in touch with my blog

      Delete
  5. Niyamai Ruchira Keep it up!

    ReplyDelete
  6. Thank you very much mchn...mage blog ekata goda weduna eka gena sathutui macho

    ReplyDelete
  7. දණ ගස්සලා

    ReplyDelete