Monday, 14 September 2020

තනිවෙච්ච අතීතය

උළු වහලෙට මකුළු දැලින් රටාව වැටිලා
මහ ග්‍රීෂ්මෙ දරාන උන් කතා කියනවා
බූව තියෙන කොළ අතු මිට රිටකට බැඳලා
අතු මිටියෙන් වහලය ඇමදුව සිහිවෙනවා

පරාලයයි යටලීයයි ටික ටික දිරලා
අපිටත් නොකියම කාලය හනිකට දුවලා
මේ බිම දුව පැන ඇවිදපු කාලය මැවිලා
මගේ පුංචි අතීතයේ මම සිරවීලා

ඉසුරු සොයා වාසිටියට ගිය දා ඉඳලා
අම්මේ නුඹ සිහිවෙනවා බඩගිනි දැනිලා
බත් ගුලිකර ඉස්තෝප්පු පඩියේ ඉඳලා
මට කවාපු හැටි මැවෙනවා හිත මගෙ රිදිලා

හිතුවත් අපි අයිතිය ගෙදරට තව කියලා
අපේ වැඩයි අපිවම පිටමං කර දාලා
ඉඳහිට ගෙට ගොඩවෙන්නට යන්නට හිතිලා
දුටුවෙමි ඒ අතීතෙ ගේ එක්කම දිරලා

ඉස්සර මං බලාන උන් පඩියේ ඉඳලා 
අප්පච්චී ඉන්නවා අද මං එයිද බලා
මගෙ වියදම යවන්න වැඩියෙන් වැඩ කරලා
උස මහතට හිටිය ඔහුත් දැන් වැහැරීලා

අපෙ කටහඬ ආලය සිනහව ඉතිරීලා
තිබිච්ච ගේ පාලු වෙලා අඳුරේ ගිලිලා
හීන පස්සෙ දිව්වා ඔක්කොම මඟ දාලා
සතුට තිබුණු තැන හොයනවා මම නැවතීලා




No comments:

Post a Comment