Wednesday 30 October 2019

නොලියූ කවි

අතිනත අල්ලා පියමං කල හැටි
සෙනෙහෙන් දෑස අරා ..
හිත් තුල ලිය උන නෙත් මත පැටලුණු
විරහව කදුලු දරා ..
දියරැලි බැම්මෙන් වටවුනු මතකය
සෙනෙහස් කඩිති ඉරා..
නොලියූ පෙම් කවි තවමත් ඇති මේ
තනි වුන නුවර පුරා ..

- රුචිර වීරකෝන් -
30.10.2019



Thursday 24 October 2019

මගෙ නම ලියැවුණු ඩෙස් එක අදටත් තියනව ඇති පන්තියෙ මුල්ලේ

දවසේ අවසන් කණිසම තෙක් අපි ඇගිලි ගැන්න
පන්තිය මුල්ලේ..
එක බත් පත කා හිනැහුන සැනසුන සරදම් කරගත්
ඩෙස් පල්ලේ..
පාට පාට හුණු කූරෙන් ලියැවුණු සෙනෙහස ඉතිරුණු
සිව් මුල්ලේ..
මගෙ නම ලියැවුණු ඩෙස් එක අදටත් තියනව ඇති
පන්තියෙ මුල්ලේ..

අවසන් සීනුව අවසන් වරටත් ඇසුනා
නොසිතූ මැසිවිල්ලේ..
අපට උරුම වූ මතකය සිර වූ සුසුම් දැරූ
බිත්තිය මුල්ලේ..
කිරි සුදුවන් කිරි පාටින් බැබලී පාසල් ගිය
ලස්සන කාලේ..
අකුරු කෙරූ හැටි තාම මැවෙනවා අපෙ හිත්
යා වූ පවනැල්ලේ..

- රුචිර වීරකෝන් -
24.10.2019


Wednesday 2 October 2019

දෙකෙලවර


අහස වසාගෙන වැහි කළු පැමිනේවී
නිමේශයෙන් අහස හඩයි නුඹ යාවී
අවසන් මොහොත තෙක් ආලෝකය දේවී
ඝන වැහි වළා අතරත් හිරු පායාවී

දුකයි සැපයි සම සම අයුරින් වේවී
එකට තබන පා කොහෙ හී හමු වේවී
සරසවියයි වාට්ටුවයි දුර වේවී
හෙටට වඩා මතකය ලස්සන වේවී


ඔබ නැතුව


ඇහැළ මල් වල ගාව ලස්සනට පිපීයන්
නුඹ එක්ක හිටි කාලෙ මැවි මැවී පෙනීයන්
ගුලේ කැන්ටිමෙ අයිනෙ දාපු ඇක මැවීයන්
තනිව පිය මනින මට පාලු නොම දැනීයන්

මහවැලිය තරමටම බොල්ගොඩත් දිවුරාවි
මොරටුවෙන් පිපි මලුත් ලොවට ජීවය දේවි
ගී සින්දු කුරුටු ගෑ බිත්ති හෙටටත් වේවි
ඉතුරු කල මතක අපෙ කාලයත් වලලාවි


Hiking සෙත් කවි




ඇවිද්ද පය දහස් වටී පිං වේවා
කදු මුදුනෙදි ගිමන් වෙහෙස නැති වේවා
තියන කදු මුදුන් තව ලස්සන වේවා
මෙදා සැරෙත් ආසාවට අපි ආවා

දඹ වැහි නැතිව පොඩි පොද පමණක් වේවා
අව් රැස් නිවා මද නල තව පැතිරේවා
කදු මුදුනෙදි විඩාව අමතක වේවා
හයිකින් උණ ඇති උන් තව ඇති වේවා

මගෙ මව්බිමයි ගහ කොල වැලයි රැකදේවා
කදු නගින්න හිතේ හයිය වැඩි වේවා
කෙල්ලො කොල්ලො හැම දෙවියන් රැකදේවා
වැඩි වැඩියෙන් හයික් යන්න සෙට් වේවා


Tuesday 27 August 2019

ලස්සනම දවස්

මේ ගෙවෙන්නෙ
හතරවෙනි අවුරුද්ද
කාෂ්ටකේට අහු උන මොරටුවෙ
ඉවසන්න බැරි සීතල විදින.

රෑ වෙනකං ඇක දාල
බෝඩිමට ඇවිත්
ගැහි ගැහී නාල
ඇදට පැනල ගුලි වෙන් නැතුව
ලැප දිහා බලාගෙන නිදි කිරන.

දුක සැප සතුට
බෙදා ගත්ත
එකිනෙකා වැලද ගත්ත
බෙදාගෙන ආශ්වාස ප්‍රාශ්වාස කරපු
උණුසුම් සිහිල් සුලග.

මතක ගොඩට
එකතු වෙන්න හදනව
ජීවිතය විදිපු, දැනුන මතක ටිකට
සමු දියන් කිය කිය.

උබල අපි ගෙව්ව ලස්සන මිනිත්තු
පැය, දවස් ගනන්, සති ගනන්
වලින් හිත අයින් කර ගන්න
පුළුවන්ද
සමුදෙන්න , සමුගන්න?

- රුචිර වීරකෝන් -
26.08.2019


දිනුම

කවි ලියාවි හරි හරියට
ෆයිනල් ගහන එවුන් වෙනුවෙන්..

අපේ හිත් වලත් තිබුනා හරි සද්දෙට
පැතුමක් ඒක උබලා වෙනුවෙන්..

අපේ ඇස් පින් මදි ඇති දැක්මට
උබලා ඉන්න ෆයිනල් එකකට අපි වෙනුවෙන්..

ඒත් කාටත් අමතක නැතුවැති
පහුගිය SLUG හොල්ලපු හැටි අපි වෙනුවෙන්..

Lectures අස්සේ
දවල් රෑ නැතුව
අත් පය කඩාගෙන
නින්ද නැති කරගෙන
නිවාඩු දවසෙත් අව් වැසි වල
තෙමීගෙන
උබලා දත කෑවෙ
මේ පාරත් cup එක ගේන්න,

කමක් නෑ බං උබලා උපරිමේ මහන්සි උනා
අපි ඒක දැක්කා
නැති උන දේවල් ඔහේ ගියා දෙන්
දිනලා වරෙන් අද Match එක
නිකං නෙමේ
වීරයෝ වගේ Record එකක් තියලා
පෙන්නලා වරෙන් අපේ උන්ගෙ හයිය
අපි බලන් ඉන්නවා එතකන්
♥️♥️♥️

- රුචිර වීරකෝන් -
10.08.2019



ඇතුගල්පුර අහස යට



ඇතුගල සෙවනේ ආගිය තැන් වල 
අපේ මතක ඇත ලියවීලා.. 
පාසල් නිම වී කල්ලි ගැහුන හැම 
මං මාවත් ඇත වෙන් වීලා.. 
අපි එක් රොක් උනු හවසට හම්බුනු 
සුපුරුදු තැන් නුහුරුම වීලා.. 
අපෙ උන් ඇවිදපු අපෙ උන් දගකල 

තැන් ඇත අද වෙන අයගෙ වෙලා..



Wednesday 24 July 2019

කටු පදුරු මැද සඳ එළියෙ හැඩ

රෑ අහස යට
සඳ මඬල දැක
සිහි කලත් අපි
ගෙවු රැයක්

සිය ගණන්
ඔවුනොවුන් එක්වෙන
තරු පිරුණු
සුන්දර දිනක්

මගේ දරුවන්
කුස දරන් ඇය
අදට හරියට
පස් මසක්

ගෙදර යන්නට
නිවාඩුව වැටි
තිබුණි පෙර සිට
තුන් දොහක්

වන්නි කැළයේ
දෙපා නොමැතිව
අදට හිරවී
සත් දිනක්


වැස්ස

කඩා හැලෙන වරුසාවත් ගොරෝගෙන
මහ හයියෙන් හුලං හමයි කඩාගෙන
සීතලෙ ගැහි ගැහී රෑ නිදි වරාගෙන
පැවරුම් කරා ඇති නිදියමි පොරෝගෙන

Thursday 11 July 2019

සද වලාව

ඔබේ උකුලෙන් ඔලුව තියන් අහස දිහා බලන්න 
ගස් අස්සෙන් පෙනෙනා හද වලාව මට දකින්න
අපේ වෙලා මුමුණපු ඒ කවි ගී රැල් අහන්න
ආසයි මට ආයෙත් ඒ අතීතයට දුවන්න 

- රුචිර වීරකෝන් -

කිරි සුවද


කිරි සුවඳක් තවම කොහෙද පුංචි පුතේ
අඩු මාසෙන් ඇවිදින් නුඹ හිටියෙ පුතේ
එලි වෙනකං නුබ ගැන ලතැවුණා පුතේ
අම්මා නොවෙමි නර්ස් නැන්දි මමයි පුතේ

- රුචිර වීරකෝන් -

Until we meet again

I found,
Countless number of beautiful smiles
Thousands of beautiful souls
Hundreds of warm hugs
Dozens of  beautiful jives

I collected,
So many incredible people 
Lifetime memories 
Countless experiences 
Times of good and bad

Where I found AIESEC
Which,
Made my passion 
Taught me life
Gave me courage
Trained me to get up

It is hard to say Good Bye
So let me to finish like this
“Untill we meet again”


වැහි දවස්

සුමනදාසෙ මැද මිදුලම වැස්සේ වැහෙනවා
ගල් බංකුවෙ අයිනෙ එලිය බැලෙනවා
පුංචි පුංචි වැහි කැට අල්ලන්න හිතෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි ඉන්න හිතෙනවා

- රුචිර වීරකෝන් -


කට්ට තමයි පට්ට


කවි ලියන්න හිත කියනව තාමත් මහ රෑට
Drawing උඩ නින්ද යනව ඇද පේනව සැපට
මදුරු පැටව් ගී කියනව ලංවීගෙන කනට
බල කරවල වගේ හිතන් රහට කනව කට්ට

පැය ගානක් වැඩ කරලා ඔරලෝසුවෙ කට්ට
උදේ ඉදන් පැනල් දැම්ම හැබැයි ඒක පට්ට
බිස්කට් ටික හුලං වැදිල කන්නත් නෑ බඩට
උදේ එකත් දවල් කනව කාසි ඉතුරු වෙන්ට

වාස්තු ට්‍රෙන්ඩ් එක කීවට හැමෝම මෙහෙ එන්ට
උබල දන්නේ නෑනෙ කරුම අපි ගෙවනා ගැහැට
ගේ දොරවත් දැකලා නෑ පහුගිය තිස් දොහට
මේ ඔක්කොම දගලන්නේ ඩිග්‍රිය අර ගන්ට

විදිනා දුක රහට පෙනෙයි අවට ඉන්න උන්ට
අපිත් එහෙම යසට රගයි උන්ට ආස වෙන්ට
කොච්චර වැඩ මැද්දෙ උනත් ආතල් මේ කට්ට
පහට වඩා ඉන්න එපා ඉවර කරන් යන්ට

- රුචිර වීරකෝන් -


Sunday 23 June 2019

නොනිදන නගර



නොනිදන සරසවිය කියලා කිරුළු දරා
මොරටු නාමෙ අංක එකට කෙහෙළි දරා
රටේ උන්නු මීටර් ටික එකතු කරා
ලොව ජයගන්න උන් හැමදෙන මෙහෙය කරා

උදේ ඉදන් රෑවෙනකන් වැඩ තිබ්බා
පාඩම් පැවරුම් කරන්න රෑ තිබ්බා
ඒ අස්සේ ක්‍රීඩාත් ජයටම තිබ්බා
ඇක අස්සෙත් අපේ එවුන් නම තිබ්බා

සතිය පුරා ඇක දාන්න වෙලා නැත
ඒ අස්සේ අනික් වැඩත් එමට ඇත
නොනිදා කරන්නට වැඩ ගොඩගැසී ඇත
10 පසුවෙන්න පෙර යා යුතුව ඇත





Saturday 22 June 2019

අකුරු වලට මම මගෙ දුක පෙරලූවා



සරසවියයි ගෙදර දුරයි හිත         කීවා
ගෙදර වගේ නෑ කැන්ටිමෙ බත    කෑවා
ලෙඩ උන විටදි අම්මත් නෑ දුක     කීවා
ඒ දුක මකන්නට මම අද කවි       ලීවා


ආවර්ජන



Monday 10 June 2019

අවාරයේ පිපුණු මල් ❤️

තැනින් තැන මල් පොඩිති විසිරුණු
නිතර ආ ගිය පුරුදු පාරේ
බංකු බැමි මත දෑස පැටලුණු
සිහින මාලිග තැනූ කාලේ
අපෙ අපේමයි ලොවක් සාදපු
සරසවියෙ අපෙ මුල්ම කාලේ
කජු කැලෙත් නැත ඔයත් අද නැත
ඔයා මට දුන් සොඳුරු ආලේ


භවනෙ තනිවී තනිව හිනැහුණු
කතා කියවූ සොඳුරු කාලේ
එක කුඩේ යට එකට තියැවුණු
සිහින් පා යුග නැටුව තාලේ
ගමන වෙහෙසයි හිතට පාලුයි
තනිව ගතවුණු අපේ කාලේ
තබමි පියවර මොරටුවෙන් පිට
මතක ගුලි කර අපේ ආලේ



උපන්දින සුභ පැතුම



දෑගිලි තුඩින් කල මෙහෙයන් අපමණය
සුව වූ දිවි ගනන් කිව නොහැක කොපමණය
රෑ නිදි වරා දිවි රැක්කෙමි මෙපමණය
වෙදදුරු නොවෙමි හෙදියක වෙමි අපමණය

ලස්සන නිය රටා මැවුමට උරුම නැත
ඩියුටි ඉවර වී හවසට ගෙදර නැත
දීවා රැයක් නොබලා shift දමා ඇත
එහෙව් හිතේ වෙන දේකට ඉඩක් නැත

වැඩ වැඩි උනත් දුක වැඩි උනත් වාට්ටුවේ
පිපෙනවා පුංචි පෙම් මල් නුබෙ සාත්තුවේ
නිළ ඇදුමට බර වැඩි උනත් වාට්ටුවේ
පොඩි මිස් නුබයි මගෙ හිත් ගත් යාප්පුවේ

Lectures අහන් notes ලියන් මම ඉන්නේ
පුංචි නර්ස් ward එකේ ඔබ ඉන්නේ
මගෙ හිත ඔහෙට දුවනා හැටි ඔබ දන්නේ
ඔය පොඩි හිතේ ආදරයයි සිහි වෙන්නේ

-රුචිර වීරකෝන් -
28.03.2019


Sunday 9 June 2019

ආදරිය මග බලාගෙන ඇති ඔයා සිටි මෙන් ඉස්සර

නිමිත්ත:

අහම්බෙන් ෆේස් බුක් වෙබ් අඩවියේ දුටු කවි පෙලක් දැකීමෙන් හදිසියේ
සිතට ආ වදන් ගලපමින් විනාඩි කිහිපයකදී ලියූ පිලිතුරු කවි පෙලකි.

නිමිත්ත වූ කවිය:

දෑත් පැටලුනු ඉස්සර
මතක තියලා දුර ගිය
නුබේ ඇස් දෙක ඔච්චරට ඇයි
හීනවලදිම ලස්සන....

හුරුව ඇති තැන් දැක්කම
ඉවෙන් පය ගිය ඉක්මන
ඕන තරමක් දවස් තියනව
නුබම කියලා රැවටුන....

කවියෙ පදවල එක්වුණ
සුවඳ තවරා වෙන්වුණ
එදා උණුහුම අදත් දැනෙනව
නුබේ පපුවට ගුලි වුණ....

- සක්ෂිමා -
(කවියක් පමණි)

පිලිතුරු කවිය :

දකින විට ඔය ලස්සන 
කැරලි පැටලුනු කෙස් ටික
ඇයිද කියලා හිතෙනවා දැන්
තනිකලේ නුබ ඉස්සර..

හුරුව ඇති තැන් අතහැර 
පය තැබූ හරි ඉක්මන
ඕන තරමක් දවස් තියනවා
ඒ මතක මැද තනිවුන..

කවියෙ පද මෙන් ඉස්සර 
උරුම නෑ එක් වන්නට
ආදරිය මග බලාගෙන ඇති
ඔයා සිටි මෙන් ඉස්සර..




අපි හැමෝම සුදු මිනිස්සු අපේ කථා වල 🤭

පාට දෙකෙන් පාට කරපු ලෑල්ල කළු         සුදු
දාම් උනත් චෙස් ඇද්දත් පිල් දෙක කළු     සුදු
අපේ පිලෙත් අපේ ලොවෙත් හිතුවත් අපි    සුදු
වෙනත් කථාවක ඔබ කලු විය හැක නොව සුදු


Friday 7 June 2019

ඉර මැදියම

කපාගෙන වා සිහිලස
නුබට වැදී ඉර මැදියම
දැවූයෙද නුඹෙ සියොළඟ
සපතේරු පිය සෙනෙහස

මිරිවැඩි අරන් දෑතට
කිළුටු තැවරුණු අත්ලෙම
මසා නිම කල සඳ
හම්බකර ගත් සොච්චම

දරු පැටව් බලාගෙන ඇත
තමාටත් කුසගිනි එත
ගිනි අව්ව අහිංසක නැත
නමුත් ඉවසිය යුතුවැත


Sunday 2 June 2019

~සිව් අවුරුද්ද ~



වල ගැසුණු මිරිවැඩියෙ ඩයි දැමූ නිල් ඩෙනිමෙ
තැනින් තැන ඉරුණු තැන් තියෙනවා..
තිහට ගත් බත් තලිය තව පහක් වැඩි වුණිය
මාසෙ වැය පිරිමහන්න තියෙනවා..
මහපොළත් පරක්කුය දින දෙකක් එහෙමමය
Assignments අපි දිහා රවනවා..
අහර නිසි රස නැතිය වියදමක් කර බැරිය
දෙදාහක් අම්මටත් යවනවා..

මල් වැටුණු සරසවියෙ ඉරි ඇඳපු මහ පාරෙ
හෙමි හෙමින් අපේ අඩි තියනවා..
එකට පොත්පත් බලන එකම ඩිග්‍රිය කරන
අපෙ උන්ම කාරයෙන් දුවනවා..
දේශනය නිම වීලා Pizza Hut, Burger King
මචං උඹ එන්නැද්ද අහනවා..
තිබුණ නම් ඒ සල්ලි ඇද්දහැකි මාසයක්
හිත යටින් මටම මම කියනවා..



Friday 8 March 2019

අනේ අපෙ ඉරණමත් උන් අතින් ලියවිලා




දෙකපුලෙන් පිපි හමන රෝස පෙති මැලවිලා
කිටි කිටියෙ සිර කරපු බොත්තමක් ගැලවිලා 
සීලිමේ පටි අතර මකුළු දැල් හිරවෙලා 
වසන්තෙට සිටි කුසුම සීතලෙම පොඩි කලා

උන ගැනෙයි සීතලයි අම්මලා බය වෙලා
අපෙ කරුම විපාකය කෙසේ හෝ ලියවිලා
උන් තැලුව අපි තැලුන සමාජෙක මතුවෙලා
අපිට මොන යුක්තියද වතුකරේ ඉපදිලා




මොරටුවෙත් රොබොරෝසියා පිපෙනවා

හිරුට ගිය වැලි කතරෙ දිය බිදක් නැති පොලවෙ
තැනින් තැන පතොක් මල් පිපෙනවා

Assignments,schedule අතරෙ තරගයට යන සිතේ
කොහෙන් හෝ සමාධිය සොයනවා

උසට බැදි හීන පතරෙ GPA වලට යටවුණු උන්ගෙ
හිත් වලත් ආදරේ තියනවා

සමීකරණ, අනුකලන, දිග පලල සුලු වෙවී
මොරටුවෙත් රොබොරෝසියා පිපෙනවා