Saturday 28 December 2013

කාලය මැවු වෙනසක අරුමේ...... ( අවසාන කොටස )



එකොලොස්වෙනි කොටසට (ඒ කියන්නේ අන්තිම එකට කලින් කොටස) >

ෆෝන් එකෙන් යනවනම් මේ ලින්ක් එකෙන් යන්න >




"පුතාලා කෝ නැගිටින්න"
පුබුදංගයි මායි හොදටම නිදි. ඇන්ටි ඇවිත් අපිව ඇහැරවන්න.

"ආ ගුඩ් මෝර්නින් ඇන්ටි."
කියලා මම ආයෙත් හැරිලා නිදා ගත්තා. 

පුබුදන්ග නම් හිටියේ ලෝකෙ විනාස උනත් නැගිටින්නේ නැති ගානට. කලින් දවසේ රෑ පාඩම් කිරීම කෙසේ වෙතත් ඇහැරලා හිටියා මැදියමත් පහු වෙනකන්. දැන් ඉතින් ඒකේ ඇරියස් එකත් අල්ලන්න එපැයි.

"පුතාලා නැගිටින්නකෝ"
ඇන්ටිගේ දෙවන විදානයෙන් දනි පනි ගා මම නැගිට්ට. ඊට පස්සේ දෙක තුනක් ඇන්නා පුබුදන්ග ඇහැරවන්න. ඌ ඇහැරෙන පාටක් නෑ. මම වද දීලා දීලා කකුලෙන් ඇදලා ඌව දැම්මා ඇදෙන් බිමට. ඔන්න යන්තන් ඇහැරුනා.

"මේ යකාව ඇහැරවනවට පුතාට නොබෙල් ප්රයිස් එක දෙන්න වටිනවා"
ඇන්ටි හිනා වෙවී කියලා අපිට තේ එකත් දීලා ගියා.




(අහ් මම කලින් කීවද මන්දා. මම පුබුදන්ගලගේ ගෙදර නැවතිලා තමයි පාඩම් කලේ. එයාලගෙ අම්මයි තාත්තයි බොහොම ආදරෙන් මට සැලකුවා ඉතින්. සරත් අංකල් ට නම් මම බයයි චුට්ටක්. හැබැයි ඇන්ටි එක්ක නම් අපි වෙලාවකට මරු මරු විහිලු කරනවා. ඇන්ටි වෙලාවකට එක පිගානේ බත් බෙදන් ඇවිත් අපි දෙන්නටම කවනවා. අපේ අම්මා මට බත් කවනවා වගේ. මට ඒ වෙලාවට මගේ අම්මා තාත්තා ලග ඉන්නවා වගේ මට දැනුනා. ඒ අතීතෙ හරිම ලස්සනයි. ආදරණීයයි)




ආවට ගියාට අවාරෙට පොල් වැටෙනවා වගේ ඉදලා හිටලා ඉස්කෝලෙ ගියා ඒ දවස් වල. ටියුශන් ක්ලාසුත් හැමදාම දාලා. මම හිතන්නේ 80% බලලා ඉවර උන නිසා වෙන්න ඇති. 

ඒ අවුරුද්දේ මැයි, ජූනි මාස. ඒ වාරෙ අපි ඉස්කෝලෙ ගියත් අපි ඔක්කොටම එක දවසේ වෙනදා වගේ සෙට් වෙන්න හම්බුනේ නෑ. පන්තියේ ඩෙස් පුටු හුගක් හිස්. අපිත් එක්ක හිටපු හුගක් යාලුවෝ ක්ලාස් ගිහින්. සමහරවිට අපි ක්ලාස් යන දාට උන් නෑ. මේ ගෙවෙන්නේ ලස්සන ඉස්කෝලෙ කාලෙ අන්තිම දවස් ටික. පන්තිය මට නිකන් දැනුනේ යුද්දෙකට පස්සෙ අනාත උන භූමියක් වගේ. සමහරු නම් හෝ ගාලා කොනකට වෙලා ගනන් හදනවා. අපිත් එක්ක විනෝදෙන් හිටපු යාලුවොත් ඉස්කෝලෙ ඇවිත් නැති උනාම ඒක සමුගැන්මටත් පෙර සමුගැන්මක් උනා.

 අතීතයේ සිද්දි එකින් එක මට මතක් උනා. මුල් දවස් වල කෑ ගහලා ගුටි කාපුවා. හොරෙන් පන්තියෙන් පැනල මැච් එකේ ලකුනු බලන් ඇවිත් ආයේ පන්තියට ආපුවා. සුම්මා බයිට් කරලා ගුටි කාපුවා. මේ බිත්ති හතරට හිර වෙලා ලස්සන දේවල් ගොඩක් අපේ ජීවිතේ සිද්ද උනා.

ඇත්තටම දුකයි ඒ ගැන හිතද්දි. පන්ති කාමරයයේ අතරින් පතර ලමයි කීප දෙනෙක් හිටියා. අනික් ඩෙස් නිකන් දුකින් ඉන්නවා වගේ දැනුනේ. මම හිටපු ඩෙස් එක දිහා බලද්දි ඉබේටම මට හිනා ගියා. 
ඒකෙ චිත්ර කතාවක් ඇදලා තිබ්බා. බයික් එකක කොල්ලෝ දෙන්නෙක් යනවා. පොලිසියෙන් ඒ පස්සේ පන්නනවා. උඩින් ලියලා තියනවා 

"DPයි පියුමාලුයි කැකිරාවේ ගිය හැටි"කියලා.

ඒ කාලෙ වෙච්ච ලස්සන සිද්දියක් ඒක. මුන් දෙන්නා කෙල්ලෙක් බලන්න ගිහින් පොලිසියට මාට්ටු වෙලා ගෙදරටත් නෝන්ඩි උනා.ඒ සිද්දිය මතක් වෙද්දී අදටත් හිනා යනවා. මම හිතන්නේ ඒක හසිතයගෙ වැඩක්.

 ඊට මෙහා පැත්තේ ඩෙස් එකේ axio එකක steering wheel එක ඇදලා තිබ්බ. ඒ කියන්නෙ ඒකෙ ඉදල තියෙන්නේ යොමාලයා. අනික් පැත්තේ ඩෙස් එකක කාටුන් රූප ගොඩක් ඇදලා DEVANZ කියලා ආර්ට් වගයක් එහෙම දාලා තිබ්බා.ඒක නම් අනිවා විද්වයගෙ වැඩක්.


හැම පන්තියකටම වෙන් වෙච්ච ඒ ඒ ජාතියෙ සිගිති ආතල් තිබ්බා.පොඩි කාලෙනම් රොකට් හදපුවා තමයි ඉතින් කලේ. ටිකක් ලොකු වෙද්දී ඇම්ඩෙක් ආවා පන්තියේ කතා වලට. හැබැයි අන්තිම කාලෙ නම් ඒ ඔක්කොම තිබ්බා. ඉස්කෝලේ ලොකුම ලමයිනේ. ඒ නිසා ලොකු ලොකු වැඩ ගොඩක් තිබ්බා ඉතින්.

මම ඩෙස් එකේ ඔලුව තියාගෙන කල්පනා කර කර හිටියා. සුදු පාටින් පේන්ට් කරපු සිවිලිමේ අතරින් පතර මකුලු දැල් බැදිලා තිබ්බා.ෆෑන් වල මාකර් පෙන් වලින් රවුම් ඇදලා. බල්බ් දෙක නම් තිබ්බේ නෑ. මොකෙක් හරි ගලවන් ගිහිල්ලා. සිවිලිමේ එක එක කොනක කුණු ගෑවුනු අත් පාරවල් ගොඩක් තිබ්බා. මට ඉස්සර කාලෙ මතක් උනා.එතන බෝර්ඩ් එක අයින් කරලා සිවිලිම උඩට නගින්න පුලුවන්. අපි එතන තමයි අපේ ෆෝන්, කෑම පාර්සල් එහෙම හදිසි අවස්ථා වල හැන්ගුවේ. අපි ගියාම ඉස්සරහට එන පරම්පරවේ පොඩි එවුනුත් ඒකම කරයි. 

අපේ සර්ල මැඩම්ලත් අපිට ඉගැන්නුවා වගේම එයාලටත් උගන්නයි. සමහරවිට අපි ඉස්කෝලෙ හිටිය කියලා මතකයක්වත් එයාලගේ හිත් වල නැති වෙලා යයි කාලයත් එක්කම.

කදුලු වලින් බොද වෙලා යන ඇස් වලින් මම ජනේලයෙන් පිටත පේන ක්රීඩා පිටිය දිහා බලාගෙන හිටියා.

"ඩින් ඩොන් ඩින්න්......ක්රී....න්"
පාසල අවසන් වෙන සීනුව නාද උනා. 

"යෝ වද තම් පවරෝ මනුජේසූ...
 සක්ය මුනී භග වා කත  කිච්චෝ..
 පාර ගතෝ බල..............."

.....................................................................


ආයෙ අපි ඉස්කෝලෙට ගියේ ඇඩ්මිශන් ගන්න එන්න කීව දවසේ. අපේ කොල්ලෝ ඔක්කොම එදා නම් ඉස්කෝලෙට ඇවිත් තිබ්බා. ඒත් අද හරිම අමුතුයි. මුලු ඉස්කෝලෙම අමුතු ශෝකයකින් වෙලිලා වගේ මට දැනුනා. කොල්ලෝ එකා දෙන්නා තැන තැන කතා කර කර හිටියා.

"අඩෝ භාතිය ගුඩ් මෝර්නින්. මොකෝ බන් ඈස් දෙක එලියට පනින්න වගේ. උබ එලි වෙනකන් පාඩම් කරාද?"
යොමාලයා ඇහුවා.

"නැතුව නැතුව මේ ඉතින් අපිවත් ගොඩ දාගෙන කැම්පස් යන්න ඉන්න එකානේ"
සමිතයා කීවා.

"එහෙම තමයි මචන් අපි දැන් හොද ලමයිනේ. උබලා වගේ නෙමෙයි. පාඩම් කරනවා"
භාතිය කීවා.

"අඩෝ පල ඩෝ යන්න තෝ ඊයේ රෑ එලි වෙනකන් විතර FB ඉන්නව මම දැක්කා"
තවත් එකෙක් මැද්දට පැනලා කීවා.

"හා ලමයි ඔක්කොම එන්න ප්රදාන ශාලාවට."
විජේකෝන් සර් අපිට කතා කරා.

අපිව එතනට රැස් කරලා සර්ලා අපිට කතා කරා. ඒ කීවේ පොඩි රැස්වීමක් තිබ්බා. මේ අපි mainhall එකේ ඉන්න අන්තිම දවස. පොඩි කාලෙ මේක ඇතුලේ සමිති සමාගම්, උත්සව කරපු හැටි මට මතක් උනා. ඒ එක්කම හිතට ගොඩක් ලොකු දුකක් දැනුනා.

"උසස් පෙල ශිශ්ෂයන් ලෙස බොහොම උනන්දුවෙන් හොදට පාඩම් කරලා, මේ ලමයි විභාගෙ ලියන්න ඕනෙ. මේක ජීවිතේ තීරනාත්මක විභාගයක්........"
විජේකෝන් සර් අපිට හරවත් දේශනයක් දෙනවා.

"ඒ බන් අපි අන්තිමට එන අද වගේ දවසකත් අපිට මේ කරච්චලේ අහන්න උනානේ"
සුපුනා මගෙ කනට කරලා හිමින් කීවා.

ඊට පස්සේ හාමුදුරුවෝ ඇවිත් පිරිත් කියලා අපි ඔක්කොටම පිරිත් නූල් බැන්දා. ඒ වෙනකොටත් හැම එකාගෙම අතේ කඹ වගේ ලොකු පිරිත් නූල් තොගයක් අත පිරෙන්න බැදලයි තිබ්බේ.

ඊට පස්සේ ඇඩ්මිශන් දෙන්න ගත්තා. ඇඩ්මිශන් දෙන්න ගත්තේ පන්තියෙන් පන්තියට. ඉතින් අපේ පන්තියට ඇඩ්මිශන් දෙද්දි අපිට කෝල් එකක් දාන්න කියලා අපි පොඩි රස්තියාදු පාරක් ගැහුවා.

ඒ කාලෙ අපි ඉස්කෝලෙ කාලා වතුර බීල හිටියේ. අපි පිනාගෙ WIFI එකෙන් පිනාට හොරෙන් ඒ දවස් වල ඉන්ටනෙට් යනවා ඉස්කෝලෙදි. පීරියඩ් කට් කරන වෙලාවට ඉස්කෝලෙ වටේ දුවපු හැටි තාම මතකයි පිනා එනවා දැක්කම.






 මම පිට්ටනිය පැත්තට ගියා. පොඩි ලමයි වගයක් සෙල්ලම් කරනවා. මම ඒ දිහා ආසාවෙන් බලන් හිටියා. අපිත් ඒ කාලෙ ඔය වගේම සෙල්ලම් කරා. මොකක්ද වැරද්දකට පාදෙණිය මැඩම් කොල්ලෝ දෙන්නෙක්ව junior secton office එක ඉස්සරහ දණ ගස්සලා තියනවා ඈතින් පෙනුනා. අපිත් ඉස්සර කොට කලිසමත් ඇදන් ඉස්කෝලෙ හිටපු හැටි මට අද ඊයෙ වගේ මතක් උනා. කාලය අපිට වඩා කොච්චර ඉක්මන් වෙලාද ඇත්තටම. අපි පොඩි කාලෙ හිටපු බිල්ඩින් එක දිහා මම ටිකක් බලන් හිටියා. 


ඊට පස්සේ මම කැන්ටිමත් පාස් කරන් ඉස්කෝලෙ අනික් කොනට ගියා. එතකොට මගෙ ඈස් දෙකට හම්බුනේ අපේ ආදරණීය මතකයන් ගොඩක් ඉතුරු කරන් දුකින් වගේ ඉන්න media unit කියලා ගහපු පුංචි ගොඩනැගිල්ල. ඒ පුංචි ගොඩනැගිල්ලේ ඉදන් අපි ලොකු ලොකු කෑම්ප් පවා ඕර්ගනයිස් කරපු හැටි දවල් රෑ නොබලා ඒවට කට්ට කාපු හැටි මට මතක් උනා. ප්රාථමික අංශය පසු කරන් මම ගියා මධ්ය අංශය පැත්තට. ඒකත් එදා වගේම අදත් ලමයින්ට සෙවන දෙනවා. ඒත් එදා වගේ අපිට ඒ ගොඩනැගිලි වල පන්ති කාමර වල ඉගෙන ගන්න, සින්දු කියලා මාට්ටු වෙලා office එක ලග දණ ගහන් ඉන්න ආයේ දවසක් උදා වෙන්නේ නෑ.

මම කෘශිකර්ම කාමරේ පැත්තෙන් ටොයිලට් පැත්තට ගියා.

"නිදහසේ චූ කරන්නාට බාදා කිරීම ඊලග ආත්මයේ ### @@ වීමට හේතු වේ"

අපි ඒ දවස් වල ලියපු එකක් තාමත් බිත්තියේ ලොකුවට තිබ්බා. ඒක දැකලා මට තනියම හිනා ගියා. 

මම අපෙ පුස්තකාලය ලගට ආවා. 
"සියවස් සමරු පුස්තකාලය" බොහොම තේජාන්විතව තාමත් එදා වගේමයි. අපි වගේ හුගක් ලමයි එතුලට පිවිසෙන්න ඇති. අපි වගේම ඒ ගොල්ලන්ගෙ කාලය ඉවර වෙද්දි ඉස්කෝලෙන් සමු ගන්න ඇති. ඒත් මේ පොත් එදා පරම්පරාවෙ ඉදන් අද පරම්පරාවට එනකන් බොහෝ දේ දන්නවා ඇති.

 එතන පහු කරන් basketball පිටිය පැත්තට මම ආයෙත් ආවා. මම ඉස්කෝලෙ වටේ ඇවිදින අතරේ හම්බුනු මගේ හැම ගුරුවරයෙකුට වැදලා කතා කරා. 

"සර්/මැඩම්, මම ආයේ මේ ඉස්කෝලෙට දග කරන්න එන්නේ නෑ. ඒ කාලෙ වගේ ඔයාලාගෙන් ගුටි කන්න මට ආයේ එන්න බැරි වෙයි. අපිට ඔයාලගෙ ආදරේ ගොඩක් දැනුනා සර්/මැඩම්. අපි කොහොමද මේ ලස්සන ලෝකෙ අත ඇරලා දාල යන්නේ. මතකද අපි පොඩි කාලෙ දග වැඩ කරපු හැටි. කියන දේ චුට්ටක් වත් ඇහුවේ නෑ නේද අපි. කෝටු කැඩෙනකන් වේවැල් පාර දෙන්න ඇති අපිට. ඒත් කාලය විසින්ම අපිට අපේ ඉස්කෝලෙ දාල යන්න කටයුතු සලස්වලා දැන්. අපි කරපු මෝඩ වැඩ දිහා අනුකම්පාවෙන් ඔයාලා බලන්න ඇති. අපි අතින් ඔයාලගෙ හිත් රිදුනම අපිට තියන ආදරේට ඒක පිටට පෙන්නන්න නැතිව ඇති. ලමයි හැමදාම එනවා ආයෙත් යනවා. ඒක ඔයාලට හුරු පුරුදු දෙයක් වෙන්න ඇති. ඒත් අපි මෙහෙම අපේ ඉස්කෝලෙට එන අන්තිම දවස අද කියල දැනුනම මැඩම්/සර් ඔයාලටත් ගොඩක් දුක ඇති නේද?"

ඒ වැදපු කතා කරපු හැමවෙලේම මට හිතුනා. ඔවුන්ටත් ඒ දේ මගේ ඇස් දෙකෙන් තෙරෙන්න ඇති.


 "මචන් වරෙන් ඇඩ්මිශන් දෙන්න පටන් අරන්."
මැගියා මට කතා කලා.

සර් අපිව physics ලැබ් එකට එක්ක ගිහින් අපේ නම් අඩ ගහලා ඇඩ්මිශන් ටික බෙදලා දුන්නා.

"ඔය ලමයි මාත් එක්ක අවුරුදු දෙකකට ආසන්න කාලයක් ඉගෙන ගත්තා. දැන් තියෙන්නේ ඔයාලට ජීවිතේ තීරණය කරන විභාගයක් ඒකට හොදින් මූණ දෙන්න ශක්තිය ඔයාලට තියනව......"

සර් අපිත් එක්ක ගොඩක් දේවල් කතා කරා. ඒ වෙලේ නම් ඇත්තටම අපිට දුක හිතුනා. සර් ගෙන් ගුටි කකා හරි ආයෙත් ඉස්කෝලෙ යන්න තියෙනවනම් හොදයි කියල හිතුනා. ඒත් මොනව කරන්නද. අපෙ පන්ති වල දැන් වෙන ලමයි ඉගෙන ගන්නවා. අපි සමු ගන්නටත් කලින් ඉස්කෝලේ අපිට සමු දීලා. අපි අපේ ගුරුවරු ඔක්කොටම කතා කරලා ෆොටෝ දෙක තුනකුත් ගහන් main gate එක ලගට ආවා.



"අපේ සර්ලා දැන් අලුත් ලමයින්ට උගන්වනවා ඇති වෙනදා අපිට ඉගැන්නුවා වගේ."
අල්විස් කීවා.

"ඒ බන් කොහොමද බන් අපි ඉස්කෝලෙ දාලා යන්නේ"
තව එකෙක් කීවා. 


හඩන්නට බැරි උනත් හැමෝගෙම හදවත් හඩන බව මන් දන්නවා. එකා වගේ හැමදේටම හිටපු යාලුවෝ මෙහෙම වෙන් වෙනවා බලන් ඉන්න අමාරුයි. සමහරු හම්බෙන අවසාන දවස අද වෙන්නත් පුලුවන්. ශිශ්ෂයෙක් විදියට ඉස්කෝලෙට පය ගහන අන්තිම මොහොත. එකිනෙකා බොහොම දැඩිව වැලදගෙන සමුගැන්ම ප්රකාශ කරේ වෙන් වෙන්නට එපාමයි කියන හදවතින්. 

"මම එහෙනම් ගිහින් එන්නම් මචන්.හොදට පාඩම් කරපන්. එක්සෑම් එක දවසේ අපි හම්බුනත් නැත්තත් හොදට exam ලියපන්. උබලා වගේ හොද යාලුවෝ මට ආයෙ හම්බෙන්නේ නෑ මචං...."

එකෙක් තව එකෙක්ව බදාගෙන කියනව මට ඇහුනා. එකා දෙන්නා ඒ විදියට සමු අරන් තමන්ගේ ඒ ලස්සන කාලෙට සමු දීලා ගේට්ටුවෙන් පිටතට ඇදෙන්න ගත්තා.

පොඩි කාලෙ අම්මට තාත්තට වැදලා වතුර බෝතලේකුත් කරේ දාගෙන ඉස්කෝලෙ ආපු හැටි. යහලුවන් මැද ගෙවුනු මිහිරි අතීතයේ මතක සටහන් එකිනෙක මගේ මතකයට ආවා. මලිදෙව් මෑණියන් බොහොම දුකින් අපි දිහා බලන් ඉන්නවා ඇති.

මමත් ඒ කල්පනාවෙන්ම ගේට්ටුවෙන් එලියට ආවා.මලිදෙව් මෑණියෙනි ඉතින් සමුගන්න අවසරයි මට....!



සුලගේ ලෙලෙනා මල් සේ දගපා....
අප පාසල් ගිය කාලයේ.....
යාලුවෝ අද නැත වෙන අය එහි ඇත..
කාලය මැවු වෙනසක අරුමේ...

ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය..
හැම දෙන එක පන්තියේ විලසේ...
අප පොත් වල දුටු සිටුවරු රජවරු..
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ...

සාමලා අමරලා පොත් තුල තව ඇත..,
එන එන අය හා යාලු වෙතේ....
අපේම පාසල අපේම මව විය...
එදවස් අප හට නැත ආයේ...

සුලගේ ලෙලෙනා මල් සේ දගපා....
අප පාසල් ගිය කාලයේ.....
යාලුවෝ අද නැත වෙන අය එහි ඇත..
කාලය මැවු වෙනසක අරුමේ...


      -සමාප්තයි-





(පුරා දින සති ගණන් මම ඊලග කොටස දානකන් ඇගිලි ගනිමින් මා හා එක් වූ පාඨක ඔබ සැමට බොහොම ස්තූතියි. මා මෙන්ම ඔබත් ඔබේ ඒ සුන්දර පාසල් කාලයට පියමන් කරන්නට ඇතැයි මම සිතමි. මගේ කතාව ඔබේ හිතට දැනුනා නම් අන්න එතනදී මම සාර්තකයි කියලා මට දැනේවි. ඔබේ අදහස් උදහස් මට ගොඩක් වටිනවා.)



Thursday 26 December 2013

තවමත් ඉතිරි වී ඇත සයුර ඔබ කල සරදම්...."

දැනෙනවා පරාජිත හැගීමක්
සියලු දේ නැති කර ගත් 
නිකමෙකු සේ වෙලාවකට
දකින විට අහිමි වන දේ දින දිනම

නමුත්,
2004.12.26 මතකයි ඒ බිහිසුනු දවස
අදට 9 වසරයි
සුනාමි රකුසා ඇවිත්
බොහෝ දිවි බිලි අරන්

එවන් මිනිසුන් නැගී සිටින්නට උත්සහ ගන්නා විට
අපේ කදුලු මොනවාද
නිකන්ම නිකන් 
හුලන් පොදක් පමනක් නේද දිය දහරකින් නික්මෙන

වීරිය ගන්න යහපත් රටක දියුනුවට
ශෝක නොවී අතීතය ගැන 
පතමු අපි නොවන්නට මෙවන් විපත්
මිතුරෙකුට තියා සතුරෙකුටවත්

Monday 23 December 2013

කාලය මැවු වෙනසක අරුමේ...... ( 11 වෙනි කොටස )



දහවන කොටසට >

ෆෝන් එකෙන් යනවනම් මේ ලින්ක් එකෙන් යන්න >





සර්ලා ඇවිත් උන් එක්ක කතා කලා.ඊට පස්සේ අපි ලගට ආවා.

"ඇයි පුතාලා මොකද මෙතන උනේ?"
එක සර් කෙනෙක් ඇහුවා.

අපේ එකෙකුත් වරද උනගෙ පිටම දාලා හොදට සීන් එක කීවා.

"ඒක තමයි පුතේ. පුතාල කියන කතාව ඇත්ත තමයි.අපෙන් මොනව හරි වැරද්දක් උනා නම් සමා වෙන්න ඕනෙ."
අනික් සර් කීවා.

"නෑ සර් මේ වගේ පොඩි දේකට ගහගෙන වැඩක් නෑනෙ. ගැහුවත් ගහන්න බැරි කමකුත් නෑ. ඒත් සර් අපි බොහොම වැදගත් විදියට කතා කරලා විසදගන්න ගියාම මෙයාලම තමයි ගේම ඉල්ලුවේ"
අපේ එකෙක් කීවා.

අපේ එවුන් ඉස්කොලේ පුරුද්දට ඒ සර්ලාට කතා කරන කොටත් අත් දෙක එහෙම පිටි පස්සට බැදන් බොහොම වැදගත් විදියට ආචාරශීලීව තමයි කතා කලේ. මම හිතන්නේ අපි කතා කරපු විදිය ඒ සර්ලගේ හිතට අල්ලලා තිබ්බ.

"ඔව් පුතේ මේ මී හරක් තැනක හැසිරෙන්නවත් දන් නෑනෙ" 
සර් ලත් උන්ටම බැන්නා.

(එහෙම බැන්නේ බොරුවටද ඇත්තටමද කියලා නම් අපි දන් නෑ.ඒත් ඒ වෙලවේ උන්ට නෝන්ඩිය)

උන්ගෙ මිස්ලා දෙන්නෙකුත් එවෙලේ එතනට ආවා

"ආ පුතාල මලියදේවෙ නේද? "
සර් කෙනෙක් බැජ් එක දැකලා ඇහුවා. 

අපේ එවුන්ටත් ලොවෙත් මාර ඇඩ් එක. අපිත් ඉතින් හිනා වෙලා ඔලුව වැනුවා. අරුන් ශේප් වෙලා නෝන්ඩි වෙලා යන්න ගියා. අපිත් අපේ කාඩ් කුඩු කර ගන් නැතුව ඒ සර්ලාට හොරෙන් අරුන්ට නෝමල් එකේ හූවක් දාන්නත් අපි අමතක කලේ නෑ.

අපිත් තව ටිකක් ෆොටෝ එකක් එහෙම ගහලා බස් එකට ආවා. ඊට පස්සේ ග්රෙගරි වැව ලග සින්දු කියලා ආයෙත් ආතල් එකක් අරන් අපි කුරුණෑගලට එන්න පිටත් උනා.

මචන් ස්ලෝ බීට් එකක් ගහමු කියලා අමරතුන්ගයා බොන්ගෝ එකට තට්ටු කරන්න ගත්තා.

"මදු මල ලෙස මිදු මගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි........
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි........"

මමයි විකියයි සින්දුව පටන් ගත්තා.

බස් එක හෙමින් වංගු සහිත බෑවුමේ පහලට ඇදුනා.

......……………...............................................................................................................................




කාලය දන්නෙම නැතුව ගෙවිලා ගිහින්. එක්සෑම් එකත් කට උඩටම ඇවිත්. දැන් නම් ටිකක් බයයි වගේ. මම පුබුදංගයත් එක්ක පාඩම් කරන්න සෙට් උනා. 

ඔන්න ඒ වැඩ අස්සේ සයන්ස් ඩේ එක කරන්න කට්ටිය හෝ ගාලා මහන්සි වෙනවා. අපේ එකේ සභාපති තමයි දරණගම. අපි ආදරේට කීවේ දාර් කියලා. හුලගක් ගැහුවත් ඌව නම් හුලගේ යන්නේ නෑලු ඔන්න. කට්ටිය හෝ ගාලා ඩේ එකට වැඩ ඒ මොකවත් හින්දා නෙමේ අහල පහල ඉස්කෝල වල කෙල්ලන්ට පොඩි ශෝ පාරක් දාන්න.

බොහොම ලස්සනට අපේ කට්ටිය සයන්ස් ඩේ එකේ වැඩ ප්ලෑන් කරලා තිබ්බා. දේශන,(ඒවා දැම්මේ සර්ලාගේ හිත සනසන්න ඈ. නැත්තන් කිසි අධ්යාපනික වටිනාකමක් නෑ කියනවනේ), නාට්ය, සින්දු ආදී ගොඩක් ලස්සන වැඩ සටහන් දාලා තිබ්බා. ඒත් චන්ඩි විජේගෙ ඒකාදිපති පාලනය යටතේ එ ඔක්කොම අපිට අයින් කරන්න සිද්ද උනා. අන්තිමේ ඉතුරු උනේ සින්දුයි දේශනයි විතරයි. මේ විදියට බොහෝ දුක් කම්කටුලු මැද්දේ තමයි අපේ එවුන් ඩේ එක කලේ. ඒත් අපි ඒ එකකින් වත් සැලුනේ නෑ.


ඒ උනාට අපේ සයන්ස් ඩේ එක ලස්සන කරන්න අපි සෑහෙන්න වෙහෙසුනාට ඉස්කෝලෙන් අපි අපේ items හුගක් ප්රතික්ශේප කරද්දි ගොඩක් හිතේ අමාරුවෙන් තමයි හිටියේ. අපේ කට්ටිය ඉතින් බොහොම ලස්සනට සරසලා එහෙම සයන්ස් ඩේ එකට ඉස්කෝලෙ ලෑස්ති කරල තිබ්බා. කට්ටිය මාස ගානක් පීරියඩ් කට් කරලා එහෙම සෑහෙන මහන්සියක් උනේ මේ දවස එනකන්.




ප්රදාන ශාලාව අලුත් මංගල්යකට සැරසෙන මනමාලියක් වගේ. Maroon, golden yellow, navy blue කියන ඉස්කෝලෙ පාට තුනෙන් ඔතපු රෙදි කෑලි ප්රදාන ශාලාවේ වැට දිගේ දාලා. කනු හිටවලා විද්යා සන්ගමයේ ඩිජිටල් ප්රින්ටින් කරපු පුවරු හැම තැනම හිටවලා. බලන්න ලස්සනයි.

කොල්ලෝ සෙට් එක කලින් දවසේ රෑ ඉදන් මහන්සි වෙලා පිලිගැනීමේ තොරණක් හදලා. ඒකේ පුදුම ලස්සනක් තියෙන්නේ. පාරෙ බස් වල යන අයත් ඔලුව දාලා බලනවා මොකක්ද මේ ලස්සන නිර්මානෙ කියලා. අපේ එවුන් හෝ හෝ ගාල කඩියෝ ටික වගේ වැඩ. ඒ එකමුතුකම අපෙ එවුන්ගේ හැමදාම තිබ්බා. අපි සෙට් එක සෙට් උනාම ලෝකයක් උනත් පෙරලන්න බැරි කමක් නෑ කියලා කාට කාටත් දැනුනේ ඒ නිසයි. හැම වැඩක්ම කරද්දි විහිලුවෙන් තහලුවෙන් අපේ වෙහෙස අමතක කරවපු යාලුවෝ, අපේ කටේ බලේට විතරක් වැඩ කරපු එවුන්, බොක්කෙන්ම බැහල වැඩ කරලා අතේ තියන තුට්ටු දෙකත් ඉවර කර ගත්ත එවුන්, කෑමට රුසියෝ වගේම නෝමල් එකේ අයිස් පාර ගහන එවුනුත් හිටියා. ඇත්තටම අපේ ඒ සුන්දර දවස් ගොඩක් විනෝදයි. ආයෙ කවදාවත් හමු වෙන්නේ නැති විදියට අපි ඔක්කොම විසිරිලා ගිහින්.

එදා වෙච්ච තව සිදුවීමක් මට මතකයි. කොල්ලෝ ටික රෑට කන්නේ බොන්නෙවත් නැතුව අමාරුවෙන් හදපු පිලිගැනීමේ තොරණ ප්රින්සිපල් ඇවිත් ගලවන්න කීවා.



"මොනවද ඔය කරන 3rd ක්ලාස් වැඩ"
අපිට බැන්නේ එහෙමයි. 

ඒ වචන වලින් අපේ හිත් සෑහෙන්න රිදුනා. අපිට තරහයි ඒ වගේම දුකයි. අපි වෙනුවෙන් කතා කරන්න ඒ වෙලේ කවුරුවත් හිටියේ නෑ. අපි කොච්චර කතා කරත් හරි ගියේ නෑ. අන්තිමේදි පිනා කීවා එක ගැලෙව්වේ නැත්තන් science day එකට එන්නෙත් නෑ කියල. කරන්න දෙයක් නැති කමට ඒ අමානුශීය තීන්දුව ක්රියාත්මක කරන්න සිද්ද උනා. මට මතකයි කියත ගෙනත් කණු දෙක කපලා දානකොට කොල්ලන්ගේ ඇස් වලින් කදුලු ආවා. බණ්ඩා එහෙම ඉකි ගගහා ඇඩුවා. ඇත්තටම එවෙලේ ගොඩක් එපා උනා. ඒත් අපේ සභාපති දාර් ව තනි කරන්න බෑ. ඒ නිසා ඉතුරු වුන දෙයින් හරි ඩේ එක හොදට කරන්න අපි කතා කර ගත්තා. 

මලියදේවෙ ඕනම වැඩක් ඉස්සර අපි කලේ මහ ඉහලින්. ඒත් සූදානම් උන විදියට කරන්න බැරුව හුගක්ම ආසාර්ථක උනේ මේ ඩේ එක විතරයි. මොනවා උනත් ඒ මතකයනුත් හරි සුන්දරයි.

අපේ හිටියා සයන්ස් කරන මැඩම් කෙනෙක්. ඒ මැඩම්ගෙ නමේ මුල් අකුරු R.P.G. ඒ නිසා අපි මැඩම් ට කීවේ ආර්.පී.ජී. ලෝන්චර් කියලා. ඉතින් එදා main hall එක ඉස්සරහා ඉදන් මැඩම් අපේ එවුන්ගෙ සිත් සනසනවා.

"ඕවා ගනන් ගන්න එපා පුතේ දැන් වෙච්ච දේ උනානෙ කියලා"

ඒකනායකයට අසූ හාරදටම යකා නැගලා තිබ්බේ. ඌ මෙන්න කියන්න ගත්තා.

"ඒ උනාට මැඩම්, මැඩම්ල නම් දැන් අපිට කියයි. එක ගුරුවරයෙක්වත් අපි වෙනුවෙන් කතා කලාද නෑනේ.
අනික මැඩම් පිනා කව්ද ඌ හෙන ඩීසන් මහත්තයද මේ ඊයෙ පෙරේදා මලියදේවෙට ඇවිත්, මොකක්ද ඒ යකා ඉස්කෝලෙ සම්ප්රදාය ගැන දන්නේ. මැඩම් අපි මේ ඉස්කෝලෙට ආවේ එක වසරේ ඉදන්. පිනාට වඩා කැක්කුමක් අපිට තියනවා ඉස්කෝලෙ ගැන"

මූ දැන් හෝ ගාල බනිනවා. මාර සද්දෙට. 

මැඩම් කීවා.
"කට කට ලමයෝ.අහල පහල අයටත් ඇහෙනවා. හිතේ දුකට ඔහොම දේවල් කියවෙනවා. මේවා ප්රින්සිපල් ට ඇහුනොත් මොනවා වෙයිද දන් නෑ" කියලා.

"නෑ මැඩම් ඇහුනා කියලා මම නම් බය නෑ. අපි අමාරුවෙන් හදපු ගොක්කොල තොරණට 3rd class ලු. එතකොට එයා 1st class කියනවා ඇත්තේ ඉටි කොල ඒවට වෙන්න ඇති. අපේ වැඩ 3rd class කීවට එයානෙ මැඩම් කෑගල්ලේ ඉදන් ආපු ගොඩයා. එයා හිතන් ඇත්තේ කුරුදු වත්තේ ඉදන් එනවා කියලද දන් නෑ"
මූ තවත් කෑ ගහනවා.

 මුගෙ කට වහන්න බැරි තැන අමාරුවෙන් අපි මූව ඉස්කෝලෙ පිටිපස්සට ඇදගෙන ගියා. 
යස-අයස, නින්දා-ප්රශංසා ආදී හැම දේකටම අපි මූණ දෙන්න පුරුදු උනේ අපේ ඉස්කෝලෙන්.

සයන්ස් ඩේ එකේ නිවේදන කටයුතු කලේ මමයි, ජීවයි, යශෝද්, පූසා, අපි හතර දෙනා. පොතේ හැටියට උත්සවේ පටන් ගන්න තිබ්බේ ජීවට ඔන්න. ප්රධාන ශාලාව පිරෙන්න ලමයි. පිට ඉස්කෝල වල ලමයිනුත් ඇවිල්ල. මම තිරේ පිටිපස්සේ ඉදන් ඒ දිහා ටිකක් වෙලා බලන් හිටියා. මලිදෙව් ඉතිහාසයේ උත්සව ගනනාවක මම නිවේදන කටයුතු කරන්නට ඇති. ඒත් මේ මම ශිෂ්යකු ලෙස මේ වේදිකාවේ නිවේදන කටයුතු කරන අන්තිම දවස අද. මේ වේදිකාවට, මේ මයික්රෆෝනයට සමු දෙන්න බොහොම දුකයි. ඒත් මේ පින් බිමේ පහස විදින්නට ඉතා විශාල කාලයක් අපිට නැහැ. මට මතකයි මුල්ම දවසේ වෙව්ල වෙව්ල මේ වේදිකාවට නැග්ග හැට්, ටික කාලයකදි එය මට හුරුපුරුදු වූ හැටි. ඒත් අද මගෙ හිත හඩනවා එතනට සමු දෙන්න බැරුව.

"අඩෝ අන්න cheif guest එනවා. මට හදිස්සි උවමනාවකට පල්ලෙහාට යන්න වෙනවා. රුචිර උබ ආරම්භය ගනින්. මම එතන ඉදන් ඉතුරු කොටස අදින්නම්"
කියලා ජීවා ..මයික් එකත අරන් පල්ලෙහාට දිව්වා. 

මල කෙලියයි. දැන් ඉතින් පටන් ගනින්කො.
මම ඉස්සරහට ගියා. ඔක්කොටම ලාවට පොඩි හිනාවක් දාල එහෙම,

"ආයුබෝවන් සියලු දෙනාටම සුබ උදෑසනක් ප්රාර්ථනා කරනවා. සිංහල ජාතියේ ප්රවුඩත්වය විනාශ වෙමින් තිබූ යුගයක බෞද්ධ පුනර්ජීවය ඇති කරනු වස් අනගාරික ධර්මපාලතුමා, ස්ටීල් හෙන්රි ඕල්කට් තුමා ආදී ශ්රේශ්ඨ නායකයින් විසින් මේ පින්බිම නිර්මාණය කලේ ඒ ප්රශ්නයට පිලිතුරක් දීම සදහායි. එදා මෙදා තුර ඉතිහාසයේ රටට මෙන්ම ලෝකයටද උදාර යුග පුරුශයන් ගණනාවක් දායද කල, ඇතුගල්පුර අභිමානය සත්කෝරලයේ දිලෙන මිණි කැටය "මලියදේව විද්යාලය" වෙත පැමිනි ඔබ සැම බොහොම ගව්රවයෙන් යුතුව පිලි ගන්නවා..ඉතින් ඊලගට...."


ඔන්න ඔය විදියට අපි ඩේ එක ආරම්භ කලා. සින්දු දේශන ආදියත් එක්ක බොහොම ලස්සනට ඩේ එකේ වැඩ නැගලා ගියා.

මම තිරේ වැහුවට පස්සේ stage එක ඇතුලේ කොල්ලෝ පිස්සු කෙලින ඒවා වීඩියෝ කලා. සිතාරයා දිහාට කැමරාව හරවද්දී ඒ අපිවත් ලස්සනට ගනින් කියලා ඌ හිනා වෙවී ඉන්නවා. ගීතාන්ජනයා දිහාට කැමරාව හරවද්දී ඌ හැන්ගෙනවා. පව් ඇත්තට ගීතා. මේ උගේ ජිවිතේ අන්තිම ඩේ එක කියලා ඌවත් අපිවත් දැනන් හිටියේ නෑ. ඒත් ඌ අපිව දාල ගියා. 

මම හැම එකාගෙම පිස්සු ආතල් වීඩියෝ කර ගත්තා කවද හරි බලන්න. ඔහොම ටිකෙන් ටික දවස ගෙවිලා ගියා. හිතුවට වඩා සාර්ථකව වැඩේ අපි ඉවර කලා.

සැදෑ හිරු රැස් ඇතුගල සිප ගනිමින් තිබුනා. පෙර පරිදි සියලු දේවල් අස් පස් කරලා එකා දෙන්නා නිවෙස් කරා ඇදෙමින් තිබුනා. මමත් පොත් බෑග් එකට රෙදි ටිකත් පුරෝගෙන එන්න ලෑස්ති උනා.

"දැන් ඉතින් ඔන්න ඒකත් ඉවරයි. දැන් ලෑස්ති වෙයන් එක්සෑම් එකට"
මගේ හිත මටම අනතුරු ඇගෙව්වා.







මතු සම්බන්දයි.......













Monday 16 December 2013

""ආදරණීය ගීතාංජන.....""





මචං ගීතාන්ජන උබට අපිව දාලා යන්න පුලුවන් උනාට අපේ හිත් වලින් උබට ඈත් වෙන්න බෑ මචන් කවදාවත්. අපේ හිත් තාමත් උබව මතක් වෙනකොට අඩනවා මචන් ගොඩක්. ඇයි බන් මෙච්චර එකට හිටපු අපිව මෙහෙම තනි කලේ.? අපි කොහොමද උබ නැතුව ඉන්නේ? උබ ඒ දවස් වල කරපු පිස්සු වැඩ තාමත් මතක් වෙනවා බන්. මේ පෝස්ට් එක ලියද්දිත් දැන්නෙම නැතුව ඇස් දෙකෙන් ගලාගෙන ආපු කදුලු වලින් මගේ කම්මුල් හොදටම තෙමිලා.

මතකද උබ ඉස්සෙල්ලම 6 වසරට මලියදේවෙට ආපු දවස. අපි හිටියේ 6B පන්තියේ. උබ අපි ඔක්කොම English medium කරන්න ආවෙ ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියාගෙන. උබ පොඩි කාලෙම උබලගෙ අප්පච්චි නැති උනාට උබේ අම්මා උබව බලා ගත්තේ කිසිම අඩුපාඩුවක් උබට කරන්නේ නැතුව. උබේ අහින්සක අම්මා උබ ගැන අහස උසට බලාපොරොත්තු තියන් හිටියේ මචන්.

අද උබලගෙ අම්මත් නිකන් කාත් කවුරුවත් නැති පටාචාරවක් වගේ. ඇන්ටි අඩන දිහා අපිට බලන් ඉන්න බෑ බන්. අපිට තාම දැනෙන්නේ උබ අපි අතරම ජීවත් වෙනවා වගේ. 

මතකද මචන් අපි පොඩි කාලෙ විහිලුවෙන් තහලුවෙන් ගෙවපු හැටි. උබ 9 වසරෙදි කෙල්ලෙක් සෙට් කරන් ඒ කෙල්ල උබට කිස් එකක් දීපු හැටි උබ අපට කීව හැටි. 9 වසරේ උනත් උබ ඒ දවස් වල මාර කුකුලා. මතකද දවසක් මට කීවා. උබ අක්කා කෙනෙක් ට ලයින්. පුලුවන්නම් එයාලගෙ ගෙදරට කතා කරලා බලපන් කියලා. මේවා මෙච්චර කල් උබයි මායි විතරක් දන්න රහස්. ඒත් ඒවාත් මටම දීලා උබ අද ගිහිල්ලා. ඒ අක්කා, ගර්ල්ස් එකේ උපයන්ති අක්කා දන්නවද උබ අපිව දාලා යන්න ගියා කියලා. ඇයි බන් උබ මෝඩය වගේ පැනඩෝල් බීලා හොස්පිටල් එකෙත් හිටියේ මතක නැද්ද. ඕවා කියලා කොච්චර නම් උබව බයිට් කලාද මන්.

උබට මතකද ගේට් එක ඇරලා අපූරුවට ගේට් එකෙන් යන්න පුලුවන් කම තියෙද්දී උබලා පුරුද්දට වගේ තාප්පෙන් පනින්න ගිහින් මාට්ටු උන හැටි. ඒ සිද්දියට අපි උබලා සෙට් එක මාස ගානක් බයිට් කරා.

උබට ඒ කාලෙ තිබ්බේ පුදුම මියුසික් උනක්. මතකද උබ කැඩෙට් බෑන්ඩ් ගහන්න ගිහින් කට්ට කාපු හැටි. අන්තිමේ උබ කොහොම හරි පොඩි මියුසික් බෑන්ඩ් එකකුත් හදා ගත්තනේ. 

උබට මතකද අපි උබලගෙ ගමේ ගහපු පලවෙනි ශෝ එක. අපි බොහොම අමාරුවෙන් තමයි ගෙදරින් අවසර ගත්තේ. උබලගේ අම්ම තමයි අපේ ගෙවල් වලට කතා කරල ශේප් කලේ. මතකද උබයි මායි සිතාරයි කසුන්(පැනියා) ලගෙ ගෙදරට සෙට් වෙලා ඉස්සෙල්ලම බෑන්ඩ් ප්රැක්ටිස් කරපු හැටි.

උබ වැඩියෙන්ම ප්ලේ කරන්න කැමති පෑඩ් එක. ඒ නිසා උබලගේ අම්මා උබට රු.60000ක විතර රෝලන්ඩ් පෑඩ් එකක් ගෙනත් දුන්නා මතකද,? උබලගේ අම්මා ඒවගෙන් දැන් මක් කරන්නද?

මේ 18 වෙනිදට උබේ අවුරුද්දේ දානෙ. අපිට උබ වෙනුවෙන් කරන්න තියෙන්නෙ උබ ඉන්න තැනක හොදින් ඉන්න කියලා පින් අනුමෝදන් කරන එක විතරයි. 

මේ තියෙන්නේ අපේ එවුන් එකතු වෙලා උබ වෙනුවෙන් හදපු බස් හෝල්ට් එක.




බිග් මැච් කාලෙට බයික් වලින් ටවුන් එකේ අපි පැරඩ් ගිය හැටි මතකද? උමං මාර්ගය බැහැගෙන මාර්කට් එක පැත්තට යද්දී උබ ගීතාන්ජන කියලා ඒකෙ බිත්තියේ කරපු ස්ප්රේ පාර තාම තියනවා බන්. අපි කවුරුවත් හිතුවේ නෑ ඒ උබත් එක්ක අපි යන අවසාන මැච් එක කියලා බන්.


උබට ගෙනාපු රෙජිස්ටර් කරලාවත් නැති අලුත්ම අලුත් හොනට් එක උබේ මලගම ගෙට ගේන වෙලේ ගෙදර පැත්තක ඉටි කොලේකින් වහලා තිබ්බා. උබ ඒක ගේන්න ඇත්තේ කොච්චර බලාපොරොත්තු හිතේ තියන් වෙන්න ඇති.

ඒත් අද උබ අපිත් එක්ක නෑ. චන්ඩ ජල රකුසා උබව අපිට බාර කලේ උබේ ලස්සන මූණ බලන්න බැරි තරම් කැත කරලා. දවස් ගානක් වතුරේ ගිලිලා තිබ්බ උබව හොය ගනිද්දි මුලු ඇගන සීරිලා බලන්න බැරි වෙන්නම. එකට හිටපු අපිට මෙච්චර දෙයක් බලන්න තරම් අපි මෙච්චර පව්කාරද දෙය්යනේ.



උබ ඔයේ වතුර යනවා බලන්න ඇත්තේ අනික් අය වගේම ආසවට වෙන්න ඇති. ඒත් උබ ඒ වතුර පාරට පැන්නේ ඒක බල බල ඉදලා වැටුනු පොඩි එකෙක් බේර ගන්න. එවෙලෙ උබට පොඩ්ඩක් වත් හිතෙන්න නැතුව ඇති මෙහෙම දෙයක් වෙයි කියලා. වතුර පාර ගැඹුර නැති උනාට සැර වැඩියි කියලා උබටත් කල්පනා වෙන්න නැතුව ඇති. අද ඒ පොඩි එකා නම් තාමත් ජීවත් වෙනවා මචං. ඒත් උබ අපි අතර නෑ.

මට තාම මතකයි උබ නැති වෙන්න දවස් කීපයකට කලින්. අපි තුන්වෙනි වාරෙ නිවාඩු දීලා ඉස්කෝලෙ ඇරිලා පාර දිගේ එනවා.
එතකොට මම උබව බයිට් කරනවා 

"අපෝ මෙන්න ගීතාන්ජනයත් යනවා. මට නම් මුන් එක්ක යන්නත් ලැජ්ජයි.මූ අක්කලා ටෝක් කරලා පැනඩෝල් බීපු කොල්ලෙක්. ඊයා අපිටත් ලජ්ජයි බන්"

එතකොට උබ බෑග් එකෙන් මුන වහන් පාරෙ යනවා. මම ආයෙත් කියනව.

"අඩෝ පැනඩෝලයා, තොට ඕවා කරන්න නම් පුලුවන්. ලෝකයාට මූන දෙන්න ලැජ්ජයි නේද කියලා"

එතකොට ඌ මට ගහන්න පන්නනවා.
"අපෝ මොනාද බන් උබ මගෙ කාර්ඩ් කුඩු කරා බන් කිය කියා.

එතකොට මම අහනවා,
"අම්මට උඩු උබට මෙච්චර කල් කාර්ඩ් එකක් තිබ්බද බන්" කියලා.

ඒත් අද කොයි බන් උබ? උබ නැතුව අපිට ගොඩක් පාලුයි.සින්දුවක් කීවත් අපිට උබේ අඩුව දැනෙනවා. මචං උබ ඉන්න තැනක සතුටින් ඉදපන් මචං. මතු උපදින උපදින කිසිම ආත්මෙක උබට මෙවන් අකල් මරනයක් අත් නොවේවා. ගීතා උබ හැමදාමත් අමරණීයයි. උඹට නිවන් සුව..!