Monday 16 December 2013

""ආදරණීය ගීතාංජන.....""





මචං ගීතාන්ජන උබට අපිව දාලා යන්න පුලුවන් උනාට අපේ හිත් වලින් උබට ඈත් වෙන්න බෑ මචන් කවදාවත්. අපේ හිත් තාමත් උබව මතක් වෙනකොට අඩනවා මචන් ගොඩක්. ඇයි බන් මෙච්චර එකට හිටපු අපිව මෙහෙම තනි කලේ.? අපි කොහොමද උබ නැතුව ඉන්නේ? උබ ඒ දවස් වල කරපු පිස්සු වැඩ තාමත් මතක් වෙනවා බන්. මේ පෝස්ට් එක ලියද්දිත් දැන්නෙම නැතුව ඇස් දෙකෙන් ගලාගෙන ආපු කදුලු වලින් මගේ කම්මුල් හොදටම තෙමිලා.

මතකද උබ ඉස්සෙල්ලම 6 වසරට මලියදේවෙට ආපු දවස. අපි හිටියේ 6B පන්තියේ. උබ අපි ඔක්කොම English medium කරන්න ආවෙ ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියාගෙන. උබ පොඩි කාලෙම උබලගෙ අප්පච්චි නැති උනාට උබේ අම්මා උබව බලා ගත්තේ කිසිම අඩුපාඩුවක් උබට කරන්නේ නැතුව. උබේ අහින්සක අම්මා උබ ගැන අහස උසට බලාපොරොත්තු තියන් හිටියේ මචන්.

අද උබලගෙ අම්මත් නිකන් කාත් කවුරුවත් නැති පටාචාරවක් වගේ. ඇන්ටි අඩන දිහා අපිට බලන් ඉන්න බෑ බන්. අපිට තාම දැනෙන්නේ උබ අපි අතරම ජීවත් වෙනවා වගේ. 

මතකද මචන් අපි පොඩි කාලෙ විහිලුවෙන් තහලුවෙන් ගෙවපු හැටි. උබ 9 වසරෙදි කෙල්ලෙක් සෙට් කරන් ඒ කෙල්ල උබට කිස් එකක් දීපු හැටි උබ අපට කීව හැටි. 9 වසරේ උනත් උබ ඒ දවස් වල මාර කුකුලා. මතකද දවසක් මට කීවා. උබ අක්කා කෙනෙක් ට ලයින්. පුලුවන්නම් එයාලගෙ ගෙදරට කතා කරලා බලපන් කියලා. මේවා මෙච්චර කල් උබයි මායි විතරක් දන්න රහස්. ඒත් ඒවාත් මටම දීලා උබ අද ගිහිල්ලා. ඒ අක්කා, ගර්ල්ස් එකේ උපයන්ති අක්කා දන්නවද උබ අපිව දාලා යන්න ගියා කියලා. ඇයි බන් උබ මෝඩය වගේ පැනඩෝල් බීලා හොස්පිටල් එකෙත් හිටියේ මතක නැද්ද. ඕවා කියලා කොච්චර නම් උබව බයිට් කලාද මන්.

උබට මතකද ගේට් එක ඇරලා අපූරුවට ගේට් එකෙන් යන්න පුලුවන් කම තියෙද්දී උබලා පුරුද්දට වගේ තාප්පෙන් පනින්න ගිහින් මාට්ටු උන හැටි. ඒ සිද්දියට අපි උබලා සෙට් එක මාස ගානක් බයිට් කරා.

උබට ඒ කාලෙ තිබ්බේ පුදුම මියුසික් උනක්. මතකද උබ කැඩෙට් බෑන්ඩ් ගහන්න ගිහින් කට්ට කාපු හැටි. අන්තිමේ උබ කොහොම හරි පොඩි මියුසික් බෑන්ඩ් එකකුත් හදා ගත්තනේ. 

උබට මතකද අපි උබලගෙ ගමේ ගහපු පලවෙනි ශෝ එක. අපි බොහොම අමාරුවෙන් තමයි ගෙදරින් අවසර ගත්තේ. උබලගේ අම්ම තමයි අපේ ගෙවල් වලට කතා කරල ශේප් කලේ. මතකද උබයි මායි සිතාරයි කසුන්(පැනියා) ලගෙ ගෙදරට සෙට් වෙලා ඉස්සෙල්ලම බෑන්ඩ් ප්රැක්ටිස් කරපු හැටි.

උබ වැඩියෙන්ම ප්ලේ කරන්න කැමති පෑඩ් එක. ඒ නිසා උබලගේ අම්මා උබට රු.60000ක විතර රෝලන්ඩ් පෑඩ් එකක් ගෙනත් දුන්නා මතකද,? උබලගේ අම්මා ඒවගෙන් දැන් මක් කරන්නද?

මේ 18 වෙනිදට උබේ අවුරුද්දේ දානෙ. අපිට උබ වෙනුවෙන් කරන්න තියෙන්නෙ උබ ඉන්න තැනක හොදින් ඉන්න කියලා පින් අනුමෝදන් කරන එක විතරයි. 

මේ තියෙන්නේ අපේ එවුන් එකතු වෙලා උබ වෙනුවෙන් හදපු බස් හෝල්ට් එක.




බිග් මැච් කාලෙට බයික් වලින් ටවුන් එකේ අපි පැරඩ් ගිය හැටි මතකද? උමං මාර්ගය බැහැගෙන මාර්කට් එක පැත්තට යද්දී උබ ගීතාන්ජන කියලා ඒකෙ බිත්තියේ කරපු ස්ප්රේ පාර තාම තියනවා බන්. අපි කවුරුවත් හිතුවේ නෑ ඒ උබත් එක්ක අපි යන අවසාන මැච් එක කියලා බන්.


උබට ගෙනාපු රෙජිස්ටර් කරලාවත් නැති අලුත්ම අලුත් හොනට් එක උබේ මලගම ගෙට ගේන වෙලේ ගෙදර පැත්තක ඉටි කොලේකින් වහලා තිබ්බා. උබ ඒක ගේන්න ඇත්තේ කොච්චර බලාපොරොත්තු හිතේ තියන් වෙන්න ඇති.

ඒත් අද උබ අපිත් එක්ක නෑ. චන්ඩ ජල රකුසා උබව අපිට බාර කලේ උබේ ලස්සන මූණ බලන්න බැරි තරම් කැත කරලා. දවස් ගානක් වතුරේ ගිලිලා තිබ්බ උබව හොය ගනිද්දි මුලු ඇගන සීරිලා බලන්න බැරි වෙන්නම. එකට හිටපු අපිට මෙච්චර දෙයක් බලන්න තරම් අපි මෙච්චර පව්කාරද දෙය්යනේ.



උබ ඔයේ වතුර යනවා බලන්න ඇත්තේ අනික් අය වගේම ආසවට වෙන්න ඇති. ඒත් උබ ඒ වතුර පාරට පැන්නේ ඒක බල බල ඉදලා වැටුනු පොඩි එකෙක් බේර ගන්න. එවෙලෙ උබට පොඩ්ඩක් වත් හිතෙන්න නැතුව ඇති මෙහෙම දෙයක් වෙයි කියලා. වතුර පාර ගැඹුර නැති උනාට සැර වැඩියි කියලා උබටත් කල්පනා වෙන්න නැතුව ඇති. අද ඒ පොඩි එකා නම් තාමත් ජීවත් වෙනවා මචං. ඒත් උබ අපි අතර නෑ.

මට තාම මතකයි උබ නැති වෙන්න දවස් කීපයකට කලින්. අපි තුන්වෙනි වාරෙ නිවාඩු දීලා ඉස්කෝලෙ ඇරිලා පාර දිගේ එනවා.
එතකොට මම උබව බයිට් කරනවා 

"අපෝ මෙන්න ගීතාන්ජනයත් යනවා. මට නම් මුන් එක්ක යන්නත් ලැජ්ජයි.මූ අක්කලා ටෝක් කරලා පැනඩෝල් බීපු කොල්ලෙක්. ඊයා අපිටත් ලජ්ජයි බන්"

එතකොට උබ බෑග් එකෙන් මුන වහන් පාරෙ යනවා. මම ආයෙත් කියනව.

"අඩෝ පැනඩෝලයා, තොට ඕවා කරන්න නම් පුලුවන්. ලෝකයාට මූන දෙන්න ලැජ්ජයි නේද කියලා"

එතකොට ඌ මට ගහන්න පන්නනවා.
"අපෝ මොනාද බන් උබ මගෙ කාර්ඩ් කුඩු කරා බන් කිය කියා.

එතකොට මම අහනවා,
"අම්මට උඩු උබට මෙච්චර කල් කාර්ඩ් එකක් තිබ්බද බන්" කියලා.

ඒත් අද කොයි බන් උබ? උබ නැතුව අපිට ගොඩක් පාලුයි.සින්දුවක් කීවත් අපිට උබේ අඩුව දැනෙනවා. මචං උබ ඉන්න තැනක සතුටින් ඉදපන් මචං. මතු උපදින උපදින කිසිම ආත්මෙක උබට මෙවන් අකල් මරනයක් අත් නොවේවා. ගීතා උබ හැමදාමත් අමරණීයයි. උඹට නිවන් සුව..!



4 comments: