Sunday 12 April 2015

දැනෙනවාද නුඹලාටත් ඒ ආදරය?




මතකද පොඩි කාලෙ පොඩි දේටත් අඩාගෙන අම්මේ කියාගෙන දුවගෙන ගිය හැටි. කොහේ ගියත් කවුරු නැති උනත් අම්මා නැති නම් එතන අපිට ඉන්න බැරි කාලයක් තිබ්බා මතකද? පොඩි කාලෙ විතරක් නෙමේ, අදත් අපිට තුවාලයක් උනත්, කරදරයක් උනත් මොනා හරි දෙයක් හොයා ගන්න බැරි උනත් ඉස්සෙල්ලාම කියවෙන්නේ "අම්මේ" කියල නෙමෙයිද?

ඔයාට මතකද පොඩි කාලෙ ඔයාට බත් කවන්න ගේ වටේ වට ගානක් කතන්දර කිය කිය ඇවිද්ද හැටි? පොඩි කාලෙ මුකුත් තේරෙන්නෙ නැති කාලෙ අපි නිදා ගන්නේ නැතුව අඩ අඩ කරදර කරද්දී මහ රෑ නිදි මරාගෙන අපිව නලවපු හැටි. මට නම් තාමත් මතකයි තාත්තාත් ගෙදර නැති වෙලාවට මම අසනීප වෙලා හොදටම ලෙඩ උනාම මාවත් වඩාගෙන මගේ අම්මා මාව බෙහෙත් ගේන්න එක්කන් ගියා. අපේ අම්මා මාව වඩාගෙන කිලෝ මීටර් ගානක් පයින් ගිහිල්ලා තියනවා. ඒ ගිහින් තියෙන්නේ පුලුවන් කමට නෙමේ, මට තියන ආදරේ එයාගෙ
හැම දේකටම වඩා වැඩි නිසා. ඔයාලට බඩ පිරෙන්න කන්න දීලා මට බත් තියනවා පුතේ කියලා අම්මා දවස් කීයක් බඩගින්නේ ඉදලා ඇද්ද? ඒක අපි කාටවත් දවස් මෙච්චරයි කියන්න බෑ. අපි ඉපදුන දවසේ ඉදන් අම්මගේ ජිවිතේ හැම සතුටක්ම වෙන් කලේ අපි වෙනුවෙන්.

මට මතකයි අම්මා මාව දුක් මහන්සියෙන් හදලා හදලා මාව ක්ලාස් එක්කන් ගිහින් ඉස්සෙල්ලම මාව වාඩි කරපු විභාගෙ ශිෂ්වත්ව විභාගෙ. ඒකෙ ප්‍රතිඵල ආපු දවසේ මුලු ලෝකයක් සතුටු වන බව මම දැක්කා. ඒත් ඒ මුලු ලෝකෙටම වඩා මගෙ අම්මාගෙ ඇස් වල සතුටු කදුලු මම දැක්කා. රත්තරන් අම්මේ ඒ කදුලු වල එකතු වෙලා තිබ්බේ ඔය මගේ වෙනුවෙන් වැය කරපු දහඩිය කදුලු. තාමත් මම කොහේ හරි ගිහින් මහ රෑ ගෙදර එනකන් මම එනකන් කෑම කන්නේ නැතුව බලාගෙන ඉන්නවා.මට මතකයි පොඩි කාලෙ මම ලෙඩ උනාම අම්මා මගෙ ලගින් හෙලවෙන් නෑ. අම්මා ලග ඉන්නකොට දැනෙන සෙනෙහස රැකවරණය ලෝකෙ කොහෙන්වත් අපි කාටවත් හම්බෙලා නැතුව ඇති.ඒ තමයි මගේ අම්මා.

ආදරණීය අම්මේ, මම ඔයාට ණය මම බීපු ඔයාගෙ ලේ කිරි වලට විතරක් නෙමේ. ඊට වඩා මම ගොඩාක් ණයයි මට දීපු සෙනෙහසට මාව හදා වඩා ගන්න වෙච්ච මහන්සියට. ලෝකෙ මිනිසෙකුට දරා ගැනීමට අපහසු තරම් දුකක් විදලා ඔයා මාව මෙලොවට බිහි කලා. ඔව් ඒ වෙලේ ඔයාට ගොඩක් මහන්සියි වෙහෙසයි. ඒත් එහෙම තියෙද්දිත් මම අඩනවා දැක්කම මාව ලගට අරන් කිරි පෙව්වේ අම්මේ ඔයා පොඩි හරි විවේකයක් වත් ගන්නේ නැතුව.

අපි ලස්සනට ඇදලා පැදලා ක්ලාස් යනවා ඇති, අවුරුද්දට ලස්සන ඇදුම් ඉල්ලලා අඬද්දී තාත්තා වෙලාවකට බනිද්දී අම්මා කොහේ හරි ඉතුරු කරන් තිබ්බ සල්ලි කීයක් හරි දෙනවා ඇති, ඔයාට ලස්සන ඇදුමක් ගන්න.ඒත් ඔයා අම්මා තාමත් අදින්නේ අවුරුදු ගානකට කලින් ගත්ත පරණ සායක් නැත්තන් චීත්තයක්.ඔයාලා නිකන් වත් හිතුවද එයා අන්තිමට අලුත් ඇදුමක් ගත්තේ කවද්ද කියලාවත්? ඔයාට හොදට වියදම් කරලා මහත්තයෙක් වගේ ඉන්න සල්ලි එන්නේ කොහෙන්ද කියලාවත්? කවදාවත් ඔයා ඔයාගෙ අම්මගෙ අත් දෙක නිකන් වත් බලලා තියනවද? ඒ අත් වල කර ගැට, උයද්දී අත පුරාම හීනියට කැපිච්ච පාරවල්.ඒ අපිට හදිස්සියට උයන්න ගිහින් පිහියට අත කැපිච්ච ඒවා.ඒ වගේ පාරවල් සිය ගානක් ඇති. අතේ නියපොතු ගෙවිලා ගිහින් වලං හෝදනකොට, එයාට ලස්සන දිග නියපොතු තියෙන්න ඇති ඉස්සර, ඒත් අපි නිසා එයා එයාගෙ හැමදේම කැප කරලා ඇති.

ඔයාලා උදේට ගමනක් යන්න, වැඩට යන්න, ක්ලාස් යන්න පාන්දර නැගිටින්න කොච්චර කම්මැලි ඇද්ද? ඒත් ඒ හැම දවසකම සීතල නිදිමතවත් හිතන්නේ නැතුව ඔයාට කලින් කෙනෙක් නැගිටලා උයනවා ඇති ඔයා යන්න කලින් කන්න දෙන්න.ඒ අපේ රත්තරන් අම්මා. අඩුම තරමේ එයා කලින් දවසේ නිදා ගත්තේ කීයටද කියලාවත් ඔයා දන්නවද?

ගමනක් යන්න අම්මට වඳිනකොට පරිස්සමින් යන්න මගෙ පුතේ, තෙරුවන් සරණයි මගෙ පුතාට පාරෙ යන්නෙ පරිස්සමින් ආදී ලෙස කොච්චරක් දේවල් කියනවද, ඒ එකක් වත් උවමනාවෙන් හරි ඔයා එක දවසක් හරි අහන් හිටියනම් තේරෙයි එයා අපි ගැන කොච්චර වද වෙනවද කියලා..අපි ගමනක් ගිහින් එනකොටත් අම්මා ගෙදරට වෙලා පිච්චි පිච්චි ඉන්නේ අපි පරිස්සමින් ගෙදර එනකං.ඒ තමයි අපේ අම්මා. ලෝකෙ වටේ කොහෙන් ගිහින් ආවත් අම්මා උයපු බත් කටක් අම්මගේ අතින් කවා ගන්න අපි තාමත් ආසයි නේද? අම්මා ගැන කියලා ඉවර කරන්න මේ දින, සති,මාස ගාණ නෙමෙයි මුලු භද්‍ර කල්පයක්ම උනත් මදි වේවි.

ඒත් මතක තියා ගන්න හොදට අද අපි මේ ජීවත් වෙන්නේ යාලු වෙලා ඉන්න කෙල්ලට ඇදුම් ගන්න  සල්ලි දුන්නෙ නැති උනාම තමන්ගෙ රත්තරං අම්මව මරණ රටක කියලා.

මම මේ සටහන මේ විදියට ඉවර කරන්නම්..මගේ ෆේස් බුක් යාලුවෙක් මෙන්න මේ විදියේ ස්ටේටස් එකක් දාලා තිබ්බා.

"එදා කහවත්තේ අම්මා පොරෝ පාරින් මැරුණේ නැත්තං, අද ඒ අම්මා බත් මුලකුත් බැදන් හිරේට යාවි තමන්ගෙ පුතාව බලන්න. මගේ රත්තරං පුතේ කියාගෙන"

ඒ තමයි අම්මා.

2 comments:

  1. Onna male meka nam kiyewwa! Lassanai... (y)

    ReplyDelete
    Replies
    1. bohoma sthuuthie geeth aiye..anonymouse kiyala daala thibbata onna mama hoya gaththaa kawda kiyala :-)

      Delete